
නිමල කොඩිතුවක්කු
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මගින් සපයනු ලබන සියලුම මහජන සේවාවන්, සදුදා (23) සිට පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රම වේදය යටතේ පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මහජනතාවගේ පහසුව වෙනුවෙන් පෙර ලබා දී තිබූ දෛනික පුර්ව වේලාවන් වෙන්කර ගැනීමේ අවස්ථා සංඛ්‍යාව මේ වන විට දෙගුණයකටත් වඩා වැඩි කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයා වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
ඒ අනුව සේවාලාභීන් හට 011 2 117 116 යන දුරකථන මාර්ගයෙන් හෝ https://dmtappointments.dmt.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ට පහසු වේලාවක් කල්තියා වෙන්කර ගත හැකි බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. ඒ අනුව, පෙරට වඩා වැඩි සේවාලාභීන් පිරිසකට දෛනිකව කඩිනමින් සහ පහසුවෙන් සිය සේවාවන් ඉටුකර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙන බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව ලබන සදුදා සිට නාරාහේන්පිට ප්‍රධාන කාර්යාල පරිශ්‍රය අසල උදෑසන සිට අනවශ්‍ය ලෙස පෝලිම් වල රැඳී සිටීමෙන් වළකින ලෙසත්, සේවාලාභීන්ගේම පහසුව සහ කාලය ඉතිරි කර ගැනීම වෙනුවෙන් හඳුන්වා දී ඇති මෙම පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රම වේදය පමණක් අනුගමනය කරමින් සේවාවන් ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් පැවසීය

