පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව දැනටමත් නඩු පවරා ඇතැයි නීතිපති අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
තමා අත්අඩංගුවට ගැනීම වළක්වාන රණතුංග මහතා විසින් ගොනු කැරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම පවත්වා ගෙන යෑම අවශ්‍ය නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කරුණු දැක්වීය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන්,උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවනු ලැබිණි.
ඉඩමක් ගොඩ කිරීම වෙනුවෙන් සිලිකොන් ටෙක්නොලොජීස් පෞද්ගලික සමාගමේ සභාපති අජිත් පැස්කුවල් මහතාගේ මුදල් ලබා ගත් බවට ලද පැමිණිල්ලක් මත සිදුකරන විමර්ශන සඳහා කටඋත්තර ලබාදීමට පැමිණෙන ලෙස තමාට කැඳවීමක් ලැබී ඇති බවත්, එහිදී තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබිණි. පෙත්සම ජූලි මස 21 වැනි දා යළි කැඳවීමට තීරණය කළේය.