පාරිභෝගික අධිකාරිය විශේෂ මෙහෙයුමක්


(යොහාන් භාසුර)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බවත් එම විශේෂ වැඩසටහන අප්‍රේල් මස 25 දින දක්වා ක්‍රියාත්මක කරන බවත් එම අදිකාරිය පවසයි.

ප්‍රධාන තොග අළෙවිසැල් සහ ගබඩා පරික්ෂා කරමින් කල්ඉකුත් වූ හා තොරතුරු වෙනස් කළ භාණ්ඩ වෙළඳපළට පැමීණීම වැලැක්වීමටත් උත්සව සමයේදී වෙළඳපොළ තුළ පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අසාධාරණයන් සහ ගැටලු මඟහැරවීම සඳහාත් කටයුතු කරන ලෙස නිලධාරින්ට උපදෙස් දී ඇති බවත් එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.  

එම කාලසීමාව තුළදී සුපිරි වෙළඳසැල්ද ඇතුළුව සිල්ලර වෙළඳසැල්, සේල් හා ජංගම ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකිරීමට නියමිත බවත් අත්‍යාවශ්‍ය භාණ්ඩවලට අමතරව ඇඳුම් පැළඳුම්, කල්පවතින භාණ්ඩ සහ විදුලි උපකරණ මෙම කාලසීමාව තුළදී වැඩි ඉල්ලුමක් සහිතව අළෙවි වන බැවින් එවැනි වෙළඳසැල් සම්බන්ධව ද වැඩි අවධානයන් යොමු කරන ලෙස නිලධාරින් වෙත උපදෙස් දුන් බවත් එම නිලධාරියා කීය.