පී.සීට බිම දාගෙන පහර දෙයි


(උපුල් හේරත්)

මිහින්තලේ කල්ලංචිය පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් සැරයන් වරයකුට යතුරු පැදියකින් පැමිණ නාඳුනනා දෙදෙනකු මහමඟ බිම දමාගෙන බරපතල ලෙස පහර දි ඇතැයි පොලිසිය කියයි.

මෙසේ පහර කෑමට ලක් වූයේ කල්ලංචිය පොලිසියේ  සැරයන් වරයෙති.

මෙම සැරයන්වරයා මිහින්තලයට පැමිණ ආපසු ත්‍රිකුණාමල මාර්ගයේ පිහිටි කරුවලගස්වැව විහාරස්ථානයේ ඉදිරිපිට පිහිටි වෙළෙඳ සළකට යන අතරතුරේ දී යතුරු පැදියකින් පැමිණ තරුණයන් දෙදෙනකු  මෙම සරයන්වරයාට බිම දාගෙන අතින් පයින් පහර දී ඇත .

ඒ අසල සිටි උප පොලිස් පරීක්ෂකවරයකු ද එම ආරවුල නැවත්විමට කල උත්සාහය අසාර්ථක වී ඇතැයි ඒ අසල සිටි පිරිස කියති .

පහර කෑ සැරයන්වරයා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව  නිකුත් කරන ලද නිල් පැහැති ටී ෂර්ට් එකක් හා ඊට අදාළ කලිසමක් ද පැළඳ සිටි අතර ,කිසියම් හේතුවක් නිසා සෑහෙන වෙලාවක් මෙම පොලිස් නිලධාරියාට දිගින් දිගටම පහර දීම් සිදුකළ වීඩියෝ දර්ශන ගත කළ අයකූ කියා සිටියේය.

මෙලෙස පහර දුන් සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතා කරන අයවලුන් බව ඒ අසල සිටි පිරිස කියයි .

මෙම සිද්ධිය සැල වූ වහාම මිහින්තලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව සිරිවර්ධන මහතා විසින් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බව කී ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ඒ වන විටත් එම සිද්ධිය අවසන් වී එම දෙ පිරිස පිටත්ව ගොස් ඇති බවයි .

තුවාල ලත් පොලිස් නිලධාරියාට මිහින්තලේ පොලීසියට පැමිණ පැමිණිලි කිරීමට දැනුම් දුන් නමුත් මෙතෙක් ඔහු නො පැමිණි බව ස්ථානාධිපති වරයා සඳහන් කළේය .

කෙසේ වෙතත් පොලිස් නිලධාරියකුට මහමග බිම දාගෙන ඉතාමත්ම කෲර ලෙස වධ හිංසා පැමිණීම බරපතළ වරදක් හෙයින් ඉතාමත්ම කඩිනමින් එම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ස්ථානාධිපති වරයා අවධාරණය කළේ ය .