පුනරුත්ථාපන රෝගියාගේ මරණයට සැක 16ක් රිමාන්ඩ්


(කීර්ති ප්‍රනාන්දු)

මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හිමිකාර කපුවා  ඇතුළු සැකකරුවන් 16 දෙනා අප්‍රේල් මස  10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ  වැඩ බලන මහේස්ත්‍රාත් ලලනී බුලත්සිංහල මහත්මිය අද (31) දින නියෝග කළේය.

මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රැගෙන විත් ප්‍රතිකාර ලබමින් සිටි ගම්පහ ගනේමුල්ල කළුවල පාර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණයෙකු හට එම පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළදී සිදුකළ දරුණු පහරදීමක් හේතුවෙන් අසාධ්‍යයව මිනුවන්ගොඩ රෝහලට ඉකුත් 27 දින ඇතුළත්  කිරීමෙන් පසු මිය ගොස් තිබිණ.

පසුව මිනුවන්ගොඩ පොලිසිය සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය  කරගත්  කරුණු හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් තහවුරු වූ පරිදි මෙම තරුණයාගේ මරණය පහරදීමෙන් සිදුවූ ඝාතනයක් බවට වාර්තා වී තිබූ අතර ඒ අනුව එම  පුනරුත්ථාපන මධ්‍යස්ථානය  හිමිකාර කපුවා, ඔහුගේ පියා  සහ  ගෝලයන් දෙදෙනා ඇතුළුව  මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකකරන රඳවියන් 12 දෙනෙකුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  සුදේශ් ප්‍රියදර්ශන  මහතාගේ උපදෙස් පරිදි  උප පොලිස් පරීක්ෂක ජී.කේ. අබේරත්න මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.