( බී ජී චතුරංග )
ඓතිහාසික මිහින්තලා රජමහා විහාර භූමියට බීමත්ව වෑන් රථයකින් පැමිණි පිරිසක් එහි වැඩ සිටි ස්වාමීන් වහන්සේලාට පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමට උත්සාහ කළ බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියෝ පවසති.
නායක හිමියෝ මේ බව කියා සිටියේ අද(25) පෙරවරුවේදී මිහින්තලා පුදබිමේදී පැවති මාධ්‍ය හමුවකදීය.
මිහින්තලා පුදබිමේ පුරා විද්‍යාව සහ බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇත්තේ හයදෙනකුගෙන් යුතු පොලිස් නිලධාරීන් පිරිසක් පමණක් බවත් එම නිලධාරින්ද මිහින්තලා පුදබිම තුළ ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු පිරිස ගමන් ගත් එම වෑන් රථයේ අංකය හෝ තොරතුරු අනාවරණය කර ගැනීමට අපොහොසත් වී ඇති බවද නායක හිමියෝ පැවසූහ.
එමෙන්ම ඓතිහාසික මිහින්තලා පුද බිමේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ යොදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ කීහ.
විහාරාධිපති හිමියන්ට සහ මිහින්තලා පුද බිමට විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස අපරාධ වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් ඉකුත්දා පොලිසියට ලිඛිතව දැනුම් දී තිබුණි.