(අංජුල මහික වීරරත්න)
බොරැල්ල ආයුර්වේද ජාතික රෝහල් පරිශ්‍රයේ අට මහල් ගොඩනැගිල්ලේ වැඩ මේ වසරේ අවසන් කොට එහි ප්‍රතිකාර සේවා අරඹන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
දැනට වසර දහයකට පමණ පෙර මෙහි ඉදිකිරීම් ආරම්භ විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් නිරීක්ෂණය කළ අතර අදාල ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා රජය රුපියල් මිලියන 450 ක මුදලක් වෙන් කර තිබූ අතර මෙවර අයවැයෙන් ද රුපියල් මිලියන 300 ක මුදලක් වෙන් කෙරිණි.
මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ ඇඳන් ධාරිතාවය 340 කි. මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමේ ඉහළ පහසුකම්වලින් සමන්විතව ස්ථාපිත කර ඇති කාමර ගණන 82 ක් වන අතර ශල්‍යාගාර, ඖෂධ නිෂ්පාදනාගාර, පංචකර්ම ඒකක, යෝග අභ්‍යාස ඒකක ද මෙයට ඇතුළත් ය.
යාපනය, නැගෙනහිර, කොළඹ සහ යක්කල යන විශ්වවිද්‍යාල වලින් ආයුර්වේද, සිද්ධ, යුනානි යන වෛද්‍ය කර්මයන් සදහා අධ්‍යන වල නිරත වන උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂකයන් 600 ක් වෙනුවෙන් සායනික පුහුණු වීම් සදහා පසුකම් ද මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ සැලසෙනු ඇත.
1929 වර්ෂයේ දී ආරම්භ කරන ලද බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ මේ වනවිට ඇඳන් ධාරිතාවය 216 කි. එහි වාට්ටු සංඛ්‍යාව 11 ක් වන අතර ගෙවන කාමරවලින් ද යුක්ත වේ.