(රෝෂන් තුෂාර)
ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට නොහැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ ආසන සංවිධායකවරු අට දෙනකු පක්ෂයේ සභාපති හා ලේකම්වරු දෙදෙනාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ අද නඩු පැවරීය.
හපුතලයේ ආසන සංවිධායක උදිත ලොකුබණ්ඩාර මහතා ඇතුළු සංවිධායකයන් අට දෙනකු පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා ,ලේකම් දුමින්ද දිසානායක හා ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහත්වරුන් විත්තිකරුවන් කරමින් මෙම නඩුව පවරා තිබිණි.
පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතිඥ ආර්.එම් චාමලි එස්.රණතුංග මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ අෂාන් නානායක්කාර මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පැමිණිලිකරුවන්ට නිදහසේ කටයුතු කරගෙන යෑමට නීත්‍යානුකූල අයිතියක් ඇති බවය.
විත්තිකරුවන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා හා එම පක්ෂයේ ලේකම්වරයා ලෙස පෙනී සිටී කටයුතු කිරීමට නීතිමය බලයක් නොමැති බවත්, එම තනතුරු දරන බවට පෙනී සිටිමින් ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට නොහැකි බවත් තෙවැනි විත්තිකාර දයසිරි ජයසේකර මහතා ජනාධිපති අපේක්ෂක සජිත් පේමදාස මහතාට සහය දැක්වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපතිනි නීතිඥ ඡන්දක ජයසුන්දර මහතා සහ නීතීඥ පුලස්ති රූපසිංහ මහත්වරු අධිකරණය කරුණු දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් නඩු ගණනාවක් කොළඹ දිසා අධිකරණයේ විභාග වන බව පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම නඩුවට වාරණ නියෝගයක් නිකුත් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවද සඳහන් කළේය.
පැමිණිලිකරුවන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවත්, පැමිණිලිකරුවන් සිදුකරන විනය විරෝධී කටයුතු මොනවාද යන්න විත්තිකරුවන් නොදන්නා බවත් පැවසීය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා විත්තිකරුවන්ට ඇතුරු තහනම් දැන්වීම් හා නොතීසී නිකුත් කරමින් විත්තිය විරෝධතා සැප්තැම්බර් 25 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.