මම කැමතිම අග්නි නාට්‍යයේ සම්පත් බේබි කියන චරිතයට


2016-05-27-ent-134

සිල්ලර කාසි නාට්‍ය හරහා ඔබේ ආලින්දයට එන සහ දැන්ම ගොඩවෙන්න, රජා මං වහලා නාට්‍ය හරහා වේදිකාවෙන් මේ දවස්වල දැකිය හැකි සරත් කරුණාරත්න සමඟයි මේ කතාබහ.

 

2016-05-27-ent-136කොහොමද ජීවිතේ?

ජීවිතේ ගොඩක් හොඳයි. අපිට චූටි පැට්ටෙක් ඉන්නවනේ. අවුරුද්දයි මාස 9 යි. පුංචි පුතාත් එක්ක දැන් සතුටින් ඉන්නවා.

 

කලාව පැත්තෙන් මොනවද කරන්නෙ?

වේදිකාව පැත්තෙක් ගත්තම රජා මං වහලා චාමික හත්ලාවත්තගේ නාට්‍ය සහ ගයාන් කනිෂ්කගේ දැන්ම ගොඩවෙන්න වේදිකා නාට්‍ය ජුනි 5 පුංචි තියර්ටහිදී වේදිකා ගතවෙනවා. දැන් රියසල් කරනවා. පුංචි තිරයෙන් ගත්තම ජාතික රූපවාහිනියේ විකාශය වන සිල්ලර කාසි නාට්‍යයේ තව රූපගත කිරීම්වල නියැලෙනවා. යකඩ කහවණු නාට්‍යයේ රූගත කිරීම් කරනවා.

 

ඔබ කලාවට එන්නෙ වේදිකාවෙන්. ඒ ගැනත් මතක් කරමු?

මම සා-පෙ හැදෑරුවේ හෝමාගම ජනාධිපති විද්‍යාලයේ. උසස් පෙළ කළේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ. උසස් පෙළ දී නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. 2001-2002 වසරේ ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලාව පාඨමාලාව හැදෑරුවා. එදා ඉඳන් අද දක්වාම වේදිකාවේ රැඳෙනවා.

 

කලාවට සම්බන්ධ වීම ගැන අද මොකද හිතෙන්නෙ?

සතුටකුත් තියෙනවා. පුංචි දුකකුත් තියෙනවා. සතුට තමා මේ වන තෙක් මම ලබාගත්ත හැමදෙයක්ම ළඟා කරගත්තේ. විශේෂයෙන්ම වේදිකා නාට්‍ය හරහා පෞද්ගලික හා ආධ්‍යාත්මික වශයෙන් ජීවිතය ගොඩනඟා ගන්න ඉවහල් වුණා. මොකද කලාව අපේම කරගෙන කරද්දි ඒ දේ සිදුවනවා. ලොකු ආත්ම තෘප්තියක් තියෙනවා.

 

එතකොට මොකක්ද මේ දුක ?

මේ කාල වකවානුවේ කලාව කරන්න ලැබීම තමා දුක. මොකද වර්තමානයේ සියල්ල මුදල් මත තීරණය වෙන්නේ. විශේෂයෙන්ම ටෙලි නිර්මාණවල කලාත්මක බව අඩුවෙලා මූල්‍යම කියන කාරණය මුල්වෙලා තියෙනවා. අපිට කලින් පරම්පරාවට ලැබුණු කලාත්මක නිර්මාණ දැන් හැදෙනවා අඩුයි. ඒ හරහා අපට ඒවගේ නිර්මාණවලට දායක වෙන්න තියෙන අවස්ථා අඩුයි.

 

ඔබ රඟන සිහින පුරය නාට්‍යයේ ඔබේ චරිතය අදටත් ජනප්‍රියයි?

ඔව් ඒ ජනප්‍රියත්වය හා ප්‍රතිචාර අදටත් ලැබෙනවා. මට අදටත් ද සීනා කියලා කතා කරනවා. මම දන්නේ නෑ ඇයි ඒ කියලා. දැන් ඒ නාට්‍ය ඉවර වෙලා අවුරුදු 5කටත් වැඩියි. මම හිතන්නේ ඒ චරිත ස්වභාවයක් එක්ක වෙන්න ඇති ඒ තරම් සමීප ප්‍රේක්ෂකයින්ට.

 

රඟපෑ චරිත අතරින් කැමතිම චරිතය?

 මම කැමතිම චරිතය අග්නි කියන නාට්‍යයේ සම්පත් බේබි කියන චරිතයට.

 

වේදිකාව, පුංචි තිරය තුළ ඔබ නිතර දකිනවා. අපි සිනමාව ගැනත් කතා කරමු. කොහොමද ඔබ සිනමාව දකින්නේ?

 සිනමාවට මම කැමතියි සම්බන්ධ වෙන්න. මම මචං චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඊට පස්සේ ප්‍රනීත් ගුණසේකර කරපු බ්ලැක්මේල් චිත්‍රපටයෙත් මම රඟපානවා. තාම ඒකෙ වැඩ ඉවර නෑ. තව ආරාධනා කිහිපයක් ලැබුණා. සමහර ඒවා නම් මම පිටපත බලලා ප්‍රතික්ෂේප කළා. හොඳ නිර්මාණයක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.

 

කොහොද ඔබ චරිත තෝරා ගන්නේ?

 චිත්‍රපටයක් නම් මුලින්ම කලා කෘතිය මොකක්ද කියලා බලලා දෙවනුව තමා චරිතය ගැන බලන්නේ.

 

අනාගත බලාපොරොත්තු?

තවදුරටත් ඉගෙන ගන්න ආසයි රංගනය සම්බන්ධව.

 

ඒකට ලංකාවේ ඉඩකඩ තියෙනවද?

එහෙම ගැටලුවක් තියෙනවා. මුල් අඩිතාලම ලංකාව කුළින් ලබාගත්තට එතනින් එහාට ඉගෙන ගන්න නම් විදෙස්ගත වෙන්න වෙනවා. ඒකට අවුරුදු 4ක් 5ක් කැප කරන්න වෙනවා. බලමු ඉතිං. ඒක තමා අනාගත බලාපොරොත්තු.

 

පවුලේ තොරතුරු ?

මගේ බිරිඳ උවනි ගුනසේකර. ඇය වෘත්තියෙන් ගුරුවරියක්. මෝදර දිලාල්දාල් විද්‍යාලයේ සිංහල උගන්වන්නේ. ඒ වගේම පිටපත් රචකාවියක් සහ කෙටි කතා, නව කතා රචකාවියක්. අපේ පුංචි පුතා නෙත්සර කරුණාරත්න. තාම අවුරුද්දයි මාස 9 යි එයාට.

 

ඇය මුණගැහුණේ?

කලාවට අවතීර්ණ වුණ මුල්ම කාලෙදිම ඇය හමුවුණා නාට්‍ය පාසලේදි.

 

අනූෂා රණසිංහ 

 

DESHAYA

 

2016-05-27-ent-135