(සුජිත් හේවාජුලිගේ)
දකුණු පළාතේ ආයතන සභාපතිවරුන් දෙදෙනෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එම තනතුරු වලින් ඉවත් කර ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති හෙයින් එසේ ඉවත් කිරීමට හේතු දක්වමින් වාර්තාවක් වහාම ලබා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට ලිපියක් යවා ඇත.
ලැබුණු පැමිණිලි කිහිපයක් සැලකිල්ලට ගෙන මෙසේ කරුණු විමසූ බව මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එහෙත් ඊයේ වන විටත් ආණ්ඩුකාරවරයා කරුණු ඉදිරිපත් කර නොතිබූ බව එම නිලධාරියා සඳහන් කළේය.
මැතිවරණයක් ප්රකාශයට පත්කර ඇති අවස්ථාවක තනතුරු ලබාදීම උසස් වීම් පිරිනැමීම මාරු කිරීම් කිරීම සේවයෙන් ඉවත් කිරීම නීතියෙන් තහනම් බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.
මේ සම්බන්ධයෙන් අප දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ සහ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරුන් රත්ගම සහ බලපිටිය ප්රදේශවල රජයේ වාහන පාවිච්චි කරමින් මැතිවරණ කටයුතුවල යෙදීම හේතුවෙන් ඔවුන් දෙදෙනා එම තනතුරු වලින් ඉවත් කළ බවයි.
එම තනතුරු දෙකට රජයේ නිලධාරීන් දෙදෙනකු පත් කළ බවද ඔහු සඳහන් කළේය.
රජයේ වාහන මැතිවරණ කටයුතුවලට යොදා නොගන්නා ලෙසට එම දෙදෙනාට තමා මුලින්ම දැනුම් දුන් නමුත් තමාගේ නියෝගය කඩ කරමින් දිගින් දිගටම වාහන පාවිච්චි කිරීම හේතුවෙන් දෙදෙනා එම තනතුරු වලින් මෙසේ ඉවත් කළ බවද ආණ්ඩුකාරවරයා කීවේය.
තමා මේ සම්බන්ධයෙන් සියලු කරුණු දක්වා මැතිවරණ කොමිෂන් සභාවට අද හෙටම ලිපියක් යොමු කරන බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
ආයතන සභාපතිවරුන් කිහිපදෙනෙකු ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගෙන්ද පසුගියදා කරුණු විමසීය.