
( සුජිත් හේවාජුලිගේ, රසාංජලී වාසල සහ සඳලි සත්සරණි)
වෛද්‍යවරුන් නොවන 40,000ක් පමණ රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවල රට පුරා නිරතව සිටින බවත් මෙම තත්වය මහජන සෞඛ්‍යයට දැඩි බලපෑමක් බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනෑන්ඩු මහතා පැවැසීය.
ඖෂධ හල නසේවය කර කිසිදු වෛද්‍ය සුදුසුකමක් නොමැති වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනයක් නොලැබූ පිරිසක්ද රෝගීන්ට ඖෂධ නිකුත් කරන බව කී විශේෂඥ වෛද්‍යවරයා මෙම අනර්ථකර තත්වය දිගටම පැවතුණහොත් ඖෂධ මගින් ලෙඩ රෝග සුව නොවන තත්වයක් උදා වනු ඇති බවට අනතුරු ඇඟවීමක්ද කළේය.
හෙතෙම මෙෙසේ පැවැසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
විශේෂයෙන්ම ප්‍රතිජීවක සඳහා ප්රතිරෝධතාවක් ගොඩනැගෙමින් පවතින බවත්, ශ්‍රී ලංකාවේ ප්‍රතිජීවක භාවිතය ඉතා ඉහළ මට්ටමක පැවතීම ඊට ප්‍රධාන හේතුව බවත් ඔහු පෙන්වා දුන්නේය.
නීතියට අනුව බටහිර වෛද්‍ය ඖෂධ භාවිත කිරීමට සහ නිර්දේශ කිරීමට බලය ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ(SLMC) ලියාපදිංචි වූ වෛද්‍යවරුන්ට පමණක් හෙයින් ඊට පරිබාහිරව වෙනත් අයෙකු ප්‍රතිජීවක නිර්දේශ කරන්නේ නම් ඒ පිළිබඳව සමාජයේ දැඩි සංවාදයක් ඇති කළ යුතු බව ෆර්ඩිනෑන්ඩු මහතා වැඩිදුරටත් පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ සෞඛ්‍ය අංශ ඇස්තමේන්තු වලට අනුව, ශ්‍රී ලංකාව තුළ ව්‍යාජ වෛද්‍යවරුන් 40,000 කට අධික සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තා වී අැත. (ඇතැම් වාර්තා මෙම සංඛ්‍යාව 40,000 සිට 50,000 දක්වා පරාසයක පවතින බව සඳහන් කරයි)
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචිය නොමැතිව බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ඕනෑම අයෙකු නීතිය ඉදිරියේ ව්‍යාජ වෛද්‍යවරයෙකි. වෛද්‍යවරුන් ළඟ සහායකයින් ලෙස සේවය කළ අය, ඖෂධහල් (ෆාමසි) සේවකයින්, ඇතැම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙන්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාර කිරීමට අවසර නොමැති වෙනත් වෛද්‍ය ක්‍රමවල නියුතු පිරිස්ද ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවල මෙලෙස නියෙලී සිටින බව සෞඛ්‍ය අංශ පවසයි
සැකසහිත හෝ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව මහජනතාවට දැනුම් දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී ඇත. 1907 එම අංකය වේ.
හොර වෛද්‍යවරුන්ට (සුදුසුකම් නොමැතිව වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින්නන්ට) එරෙහිව ශ්‍රී ලංකාව තුළ පොලිස් අත්අඩංගුවට ගැනීම්, අධිකරණ ක්‍රියාමාර්ග සහ වෛද්‍ය මධ්‍යස්ථාන මුද්‍රා තැබීම් ඇතුළු දැඩි නීතිමය පියවර ගනු ලැබේ.
වෛද්‍ය සභාවේ ලියාපදිංචියකින් තොරව බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම නීති විරෝධී වන අතර, වැටලීම් සිදු කර එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසයි. පසුගිය කාලයේදී එවැනි ව්‍යාජ ෙෙවද්යවරැන් 200කට අාසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන අැත. නීති විරෝධීව ගබිසා කිරීම් කළ අයද එ් අතර වෙති
වංචා කිරීම සහ නීති විරෝධී ලෙස වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවරනු ලබන අතර, වරදකරුවන් වුවහොත් දඩ මුදල් සහ සිර දඬුවම්ද නියම වේ.

