රැකියා කණ්ඩායම් දෙකක් අද ඊශ්‍රායලයට


(අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්‍රිත රැකියා (Renovation General Workers) සඳහා තෝරා ගත් දෙවැනි   කණ්ඩායම අද (24) දිවයිනෙන් පිටත් වන  බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. මෙම කණ්ඩායමට රැකියාලාභීහු 20 දෙනෙක් ඇතුළත් වෙති. 

මෙම පිරිසට ගුවන් ගමන් බලපත්‍ර ලබාදීම  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

පසුගිය වසරේ නොවැම්බර් මස පැවති ප්‍රායෝගික පරීක්ෂණ වලින් තෝරාගත් මෙම පිරිස මේ වසරේ ජනවාරි මසදී ඊශ්‍රායලයට විදේශ ශ්‍රමිකයන් බඳවා ගන්නා ක්‍රමය වන ලොතරයි ඇදීම මගින් තෝරාගෙන තිබේ.

මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ රැකියාලාභීන් 38 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ද අද (24) කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම පිරිස ද අද දිනම ඊශ්‍රායලය බලා පිටත් වීමට නියමිතව ඇත.

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 1266 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.