ලක් කෙල්ලෝ දෙවන ජයත් ලබති


(යොහාන් භාසුර)
විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වූ දෙවැනි තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7 කින් පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේ සහභාගි වූ තරග දෙකම පිට පිටම ජය ලැබීමට සමත් වීම කැපී පෙනේ.  
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කේප්ටවුන්හිදී පැවැති මෙම තරගයේදී ලකුණු 127 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 18.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
ආරම්භක පිතිකාරි හර්ෂිතා සමරවික්‍රම අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 50 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 69 ක් රැස්කරමින් තරගයේ දක්‍ෂත ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා නිලක්‍ෂි ද සිල්වා ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කාරියක් බවට පත්වෙමින් පන්දු 38 කින් නොදැවී ලකුණු 41 ක් රැස්කිරීමට සමත් වූවාය.
බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 8 ට 126
(ශමීමා සුල්ටාන් 20, සොබානා මොස්ටායි 29, නිගාර් සුල්ටාන් 28, ඕෂදී රණසිංහ 23/3, චමරි අතපත්තු 19/2)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 18.2 කදී කඩුලු 3 ට 129
(හර්ෂිතා සමරවික්‍රම නොදැවී 69, චමරි අතපත්තු 15, නිලක්‍ෂි ද සිල්වා නොදැවී 41, මරුෆා අක්ටර් 23//3)