ලීලාරත්න විදුහල් සිසුන්ගේ රටට ආදර්ශයක්


(නිමල් ජයරත්න)

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පොළොන්නරුව දිඹුලාගල අධ්‍යාපන කලාපයේ ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් ගුරුවරුන්ට, මෙන්ම වසර 11 ක් අධ්‍යාපන ලැබූ තම විද්‍යාලයට කෘතගුණ සැලකීමක් ලෙස 26 වෙනිදා සාමාන්‍ය පෙළ විභාගය අවසන්වීමෙන් පසු විද්‍යාලීය ඉදිරිපිටට පැමිණ ගුරුවරුන්ට මල්කළඹ දී වැඳ නමස්කාර කිරීමෙන් අනතුරුව, විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවේ මල්කළඹ එල්ලා පාසල් ගීතයද ගායනා කර පාසලට වැඳ නමස්කාර කිරීමට කටයුතු කළහ.

ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ 11 වසරේ ඒ සහ බී පන්තිවල සිසුන් අසූවකට ආසන්න පිරිසක් මෙම ආදර්ශ ක්‍රියාව සිදුකරමින් සමස්ත සිසු පරපුරට මෙන්ම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්, සිසු පරපුරට මහත් ආදර්ශයක් දීම පිළිබඳ ගුරුවරුන්ගේත්, මව්පියන්ගේත්, ආදි සිසුන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ප්‍රශංසාව හිමි වූහ.

ඇතැම් පාසල් සිසුන් විභාග අවසන් වී, මත්ද්‍රව්‍ය පානය කර අයහපත් අයුරින් සතුටු සමරා පාසලට සහ සම්පත්වලට හානිකරන යුගයක දිඹුලාගල අධ්‍යාපන කලාපයේ ලීලරත්න විජේසිංහ මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් සිදුකළ මෙම ආදර්ශය සැමට පූර්වාදර්ශයකි.