වසරේ දෙවැනි භාගයේ දී ආර්ථිකය වර්ධනය වන බව මහබැංකුව කියයි


හර්ෂණ තුෂාර සිල්වා

මේ වසරේ දෙවැනි භාගයේදී මෙරට ආර්ථිකය නැවත වර්ධනයක් අත්පත් කරගනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා අද (9) පැවැසීය.

මෙම වසරේ පස්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (9) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු එම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව වසර මුලදී මෙම වසර සඳහා 4%ත් 4.5ත් අතර ආර්ථික වර්ධන වේගයක් පුරෝකථනය කළ ද නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19’ ගෝලීය වසංගතයත් සමඟ එම අගය 1.5 % ක් ලෙස ඇස්තමේන්තු කළේය.

නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් ගෝලීය මෙන්ම දේශීය ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිත තත්ත්වයක් පවතින්නේ යැයි ද ආචාර්ය අමරසේකර මහතා කීය.

‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ගෝලීය වශංයෙන් කෙටිකාලීන වර්ධන අපේක්ෂාවලට දැඩි බලපෑම් එල්ල කර ඇතැයි ද මේ දක්වා දක්නට ලැබෙන ආර්ථික දත්තවලට අනුව 2020 වසරේ දෙවන කාර්තුව තුළ දී මෙරට ආර්ථික වර්ධනය කෙරෙහිද එමඟින් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පෙන්නුම් කෙරෙන බව ද ඔහු සඳහන් කළේය.