විදුලි ඇමැතිගෙ ගමෙත් දින හතරක් ලයිට් නෑ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සිව් දිනකට ඉහතදී හමා ගිය සුළඟක් සමග ඉංගිරිය ඇතුළු ප්‍රදේශ රැසක කිලෝ මිටර් 4 ක පමණ දුර ප්‍රමාණයක විදුලිය ඇණ හිටීමත් සමඟම නැවත යථා තත්වයට පත් කිරිමට විදුලි බලමණ්ඩලය අපොහොසත් වී ඇතැයි මහා ඉංගිරිය අවට ප්‍රදේශවල ජනතාව චෝදනා කරති.

රයිගම් වත්ත ප්‍රදේශය හරහා ඉකුත් දා  හමා ගිය දැඩි සුළඟත් සමග ගස් කිහිපයක් අධිබලැති විදුලි රැහැන් මතට කඩා වැටීම හේතුවෙන් විදුලි කණු තුනක් බිඳවැටී විදුලි විසන්දි වූ බව ඔවුහු කියති.

එදින සිට විදුලි බල මණ්ඩල සේවකයින් පැමිණ විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු ආරම්භ කළත් දින හතරක් තිස්සේ විදුලි කණු තුන සිටවමින් සිටින බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

විදුලිය බිඳවැටීම හේතුවෙන් ඉංගිරිය කොළඹ පාර හදපාන්ගොඩ දක්වා සහ මහා ඉංගිරිය, රයිගම් වත්ත,මැරේකන්ද,කුට්ටියාවත්ත, රයිගම් ජනපදය,ශාන්තපීතර,ඉමගිර, රබුක්කනගම ඇතුළු ප්‍රදේශ රැසකට මේ දක්වා විදුලිය නොමැත.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අපොස සා/පෙල විභාගයට පෙනී සිටින දරුවන් ගෙවුණු දින කීපයේම අධ්‍යාපන කටයුතුවල නිරත වූයේ ඉටිපන්දම් එළියෙන් බවයි

විදුලි බල අමාත්‍යවරයාගේ ගම ද පිහිටා ඇත්තේ මේ ආසන්නයේ බව ගම්වාසිහූ චෝදනා මුඛයෙන් පැවැසීය.