'ලොවීනා', 'ආදරණීය වික්ටෝරියා', 'මාගම් සෝලිය' වැනි ග්රන්ථයන්හි කතුවරයා වන මොහාන් රාජ් මඩවල විසින් රචනා කරන ලද නව ග්රන්ථයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතයි. 'රැජින' ලෙස නම්ව ඇති මෙම ග්‍රන්ථය සඳහා එදා මෙදා තුර මෙතෙක් සිදු නොවූ ප්රචාරක ක්‍රමවේදයක් යොදාගෙන තිබේ. ඒ මෙම ග්රන්ථ වෙනුවෙන් පූර්ව ප්රචාරක පටයක් නිර්මාණය කර තිබීමයි. එවැනි කාර්යය සිදුකිරීම පිළිබඳව මොහාන් රාජ් මඩවල අපට පැවසුවේ මෙවැන්නකි.
"පොතේ නම 'රැජින'. ඒක තමයි මගේ අලුත්ම නවකතා පොත. 'මාගම් සෝලිය', 'ලොවීනා', 'ආදරණීය වික්ටෝරියා' කියන නවකතා තුනක් රචනා කරලා තියෙනවා. කලින් නවකතා තුනටත් පසුබිම් වුණේ ඉතිහාස කතායි. මේකට පසුබිම් වෙන්නේ, ඉතිහාස කතාවක්. ඒ කියන්නේ මීට අවුරුදු 2063 කට කලින් අනුරාධපුර රාජධානියේ රජ කරපු අනුලා රැජින, එයා තමයි ලංකාවේ රජ කරපු පළවෙනි රැජින. මම හිතන්නේ ආසියාවෙත් පළවෙනි රැජින එයා තමයි. ඉතිං එයා බොහොම කාමුක ගැහැණියක් විදිහට තමයි මහාවංශය වගේ පරණ ඉතිහාස පොත්වල සඳහන් කරල තියෙන්නේ. ඒ රැජින පසුබිම් කරගෙන තමයි මේ නවකතාව ලියැවුණේ. නවකතාවක් කියන්නේ අවසාන වශයෙන් වෙළෙ‘ඳ භාණ්ඩයක්නේ. මේ සඳහා මාර්කට් කරන්න යම් යම් වෙළෙඳ උපක්‍රම භාවිතා කළාට, මේකෙදී මට හිතුණේ මොනාහරි වෙනස් දෙයක් කරන්න කියලා. මොකද ලංකාවේ මේතාක් නවකතාවක ප්‍රමෝට් කරන්න විඩීයෝ ප්රචාරක පටයක් කරලා තිබුණේ නැහැ. ඉතිං මට හිතුණා, මේක ප්‍රේක්ෂකයන්ට, පාඨකයන්ට වෙනස් අත්දැකීමක් වෙයි කියලා."
"මේක අධ්‍යක්ෂණය කළේ ඉරේෂ් ඉරුගල්බණ්ඩාර කියලා නව පරපුරේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. මේ සඳහා රංගනයෙන් දායක වුණේ, 2014 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා තේරුණු ඉමායා ලියනගේයි. ඒ අයගේ සහභාගීත්වයෙන් ඇතිව තමයි මේ කටයුත්ත කෙරුණේ. ලැබිලා තියෙන ප්‍රතිචාර මම කියනවාට වඩා යූටියුබ් ජාලයෙන් බලාගන්න පුළුවන්. මේක වෙනස්ම අමුතු අත්දැකීමක් නිසා ප්‍රේක්ෂක, පාඨක හැමෝගේම ලොකු අවධානයක් තියෙනවා."
ඩිලාන් ක්‍රිෂාන්ත