ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කරයි


‘කොවිඩ්-19’ වසංගතයෙන් බලපෑමට පත්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට අඩු පොලියට ණය ලබාදීමට සහාය වීමේ අරමුණින් බැංකු පොලී අනුපාතික නැවත අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. මේ අනුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති අතර මේ වසරේ පස්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දෙමින් එම බැංකුව අද (9) ඒ බව දැනුම් දුන්නේය.

ඒ අනුව බැංකුවලට අදාළ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 4.50%ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය  5.50%ක් දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (8) රැස්වී මෙම තීරණය ගෙන තිබේ.

ආර්ථිකයේ ඵලදායී අංශ වෙත කඩිනමින් ණය ලබාදීම සඳහා මූල්‍ය පද්ධතිය දිරිමත් කිරීමේ අරමුණින් යුතුව අඩු උද්ධමනයක් පවතින වාතාවරණයක් යටතේ මුදල් මණ්ඩලය මෙම තීරණ ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මේ වසරේ මේ දක්වා කාලය තුළ දී ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල කරන ලද පදනම් අංක 250ක සමස්ත පහළ දැමීම්වල සම්පූර්ණ ප්‍රතිලාභ ආර්ථිකය වෙත ප්‍රමාදයකින් තොරව ලබාදෙන්නැයි ද මුදල් මණ්ඩලය බලපත්‍රලාභී වාණිජ බැංකු ප්‍රමුඛ මූල්‍ය ආයතන වෙත නැවත වරක් අවධාරණය කර ඇත.

නව කොරෝනා වයිරස කාලසීමාවේදී ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර සහනදායී ණය යෝජනා ක්‍රම කිහිපයක් ද ක්‍රියාත්මක කර ඇත. ඊට අමතරව ප්‍රතිපත්ති පොලී අනුපාතික  2.5%කින් ද ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 3%කින් අඩු කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. ව්‍යවස්ථා සංචිත අනුපාතය අඩු කිරීම මඟින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල ද්‍රවශීලතාව ඉහළ යයි. ඒ අනුව එම බැංකුවලට පෞද්ගලික අංශයේ ණය ගන්නන්ට ණය ලබාදීමට ද අවස්ථාව උදා වේ.

මේ අතර ජූනි මාසය අවසන් වනවිට මෙරට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 6.7ක් යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

055