හංගේරියාවේ ගිය ක්‍රිති ගෙදර ඇවිත්


20160612Krithi-1

ගෙවුණු සති කිහිපයේදී හංගේරියාවේ ගත කළ ක්‍රිති ෂැනොන් මේ දිනවල නැවතත් ඉන්දියාවේ සිය නිවස වෙත පැමිණි බව සඳහන් වෙනවා. ක්‍රිති පසුගිය සති කිහිපයේදීම හංගේරියාවේ ගත කොට ඇත්තේ ඇය රංගනයෙන් දායක වූ අලුත්ම චිත්‍රපටය වූ දිනේෂ් විජාන්ගේ %රබ්තා^ චිත්‍රපටයේ අවසන් රූපගත කිරීම් සඳහා බව වාර්තා වෙනවා.

'රබ්තා' චිත්‍රපටයේ ක්‍රිති සමගින් සුශාන්ත් රාජ්පූත් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, ඔහුද මෙම හංගේරියානු ගමන ඉක්මනින් නිමා කොට ඇත්තේ ඔහු රංගනයෙන් දායක වන නිරේජ් පාණ්ඩේගේ 'දෝනි ද අන්ටෝල්ඩ් ස්ටෝරි' චිත්‍රපටයේ අවසන් රූපගත කිරීම් කටයුතු සිදු කිරීමටයි. එම චිත්‍රපටය සැප්තැම්බර් 02 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ක්‍රිති ෂැනොන් මෙම රූපගත කිරීම් නිමාවත් සමග සිය 'ටිව්ටර්' ගිණුම තුළ සඳහන් කර ඇත්තේ මාස කිහිපයක් තමා කලා කටයුතුවලින් ඈත්ව සිය පවුලේ සමගින් ගෙවා දැමීමට සැලසුම් කර ඇති බවයි. 2014 වසරේ තිරගත වූ 'හීරෝපාන්ති' චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි ඇය, පසුගිය වසරේ අති සාර්ථකව තිරගත වූ 'දිල්වාලි' චිත්‍රපටයේද රංගනයෙන් දායක වුණා.