හදවත උණු වුණු ළමා දොස්තර


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ඇදුම රෝගය උත්සන්න වී මාතර මහ රෝහලට පැමීණි දස හැවිරිදි දරුවකුට අවශ්‍ය ඇස්තලින් සොලූෂන් නැමැති ඖෂධය එම අවස්ථාවේ නොමැති වීම නිසා දරුවා පත් වූ තත්වය දැක සංවේදී වු ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමත් සමිත සෝමරත්න මහතා එම ඖෂධ තොගයක්  පුද්ගලික වියදමින් පරිත්‍යාග කළේය.

රුපියල් ලක්ෂ එක හමාරකට ආසන්න වටිනාකමකින් යුත් එම ඖෂධ තොගය මාසයකට පමණ රෝගීන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් ප්‍රයෝජනයට ගත හැකි බව එහිදී අනාවරණය විය.

මොරවක පදිංචි කුඩා දරුවකු ඇදුම රෝගය උත්සන්න වී මොරවක රජයේ රෝහලේ සිට සිය මිත්තනිය සමග මාතර මහ රෝහලට මාරු කර එවා තිබීණි.

එම අවස්ථාවේ මාතර මහ රෝහලේ ළමා වාට්ටුවේ සිටි විශේෂඥ වෛද්‍ය සමත් සමිත සෝමරත්න මහතා දරුවා පරික්ෂා කොට අවදානම් තත්වයෙන් මුදවා ගැනීමට වහා ඇස්තලින් සොලූෂන් ඖෂධය යොදා දූමායනය කළ යුතු බව වාට්ටු කාර්ය මණ්ඩලයට නියම කළේය.

එහෙත් එම අවස්ථාවේ අදාල ඖෂධය නොමැති බව සැලවීමත් සමග විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සිය සම්බන්ධතා මත අදාල ඖෂධය පිටතින් ගෙන්වා අදාල දරුවාට ලබා දී ජීවිතය බේරා ගෙන ඇත.

දරුවා සමග පැමිණි වයෝවෘද්ධ මිත්තනිය දරුවාගේ අප්පොච්චි නොමැති බවත් මව විදෙස්ගතව ඇති බවත් ඉතා දුප්පත් බවත් පැවසීම මත විශේෂඥ වෛද්‍ය සමත් සමිත සෝමරත්න මහතා දැඩි ලෙස සංවේදී වී තිබේ.

ඔහු එම අවස්ථාවේදීම ඉහල බලධාරීන්ට ද ඒ බව දන්වා ඇත. දැනට වෙලදපොලේ ද ඇස්තලින් සොලූෂන් ඖෂධ හිගයක් පවතී.

එම නිසා විශේෂඥ වෛද්‍ය සමත් සෝමරත්න මහතා ගාල්ලෙන් හා මාතර නගරයේ පෞද්ගලික ඔසු සැලකින් ඇස්තලින් සොලූෂන් ඖෂධ කුප්පි 370 ක් මිලදී ගෙනවිත් මාතර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න මහතා වෙත භාර දුන්නේය.