රුසියානු ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂින් ගමන් කළ ඔහුගේ පෞද්ගලික ජෙට් යානය මොස්කව් අගනුවරට උතුරින් කඩා වැටුණි. සිදුවුණු එම අනතුරින් යානයේ සිටි ප්‍රිගෝෂින් ඇතුළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
අනතුර සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන පැවැත්වෙයි. මීට මාස දෙකකට පෙර, රුසියන් හමුදාවටත්, රජයටත් අභියෝග කරමින්, රුසියාවේ බලය ඇල්ලීමේ කැරැල්ල මෙහෙය වූයේ ප්‍රිගෝෂින් ය. දින දෙකකට පමණක් සීමා වුණු එම කැරැල්ල අසාර්ථක විය.
එම කැරැල්ල සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ප්‍රිගෝෂින් අතරේත්, ප්‍රිගෝෂින් සහ රුසියන් හමුදා ප්‍රධානීන් අතරේත් විරසකයක් පැවැතිණි. අතීතයේ පුටින්ගේ සමීපතම මිතුරකු වූයේ ද ප්‍රිගෝෂින් ය. හමුදා කැරැල්ලට ප්‍රිගොෂින් යොමු වූයේ රුසියන් හමුදාවෙන් ඔහුගේ කුලී හේවා බලඇණියට එල්ල වුණු කෙණෙහිලිකම් නිසාය.
‘වැග්නර්’ කුලී හේවා බලඇණිය රුසියානු හමුදාවේ අතිරේක බලඇණියක් ලෙස සැලකෙයි. යුක්රේන ආක්‍රමණයේ දී රුසියන් හමුදාවට යුක්රේනයේ පළාත් රැසක් අල්ලා ගත්තේ ‘වැග්නර්’ කුලී හේවායන්ගේ උදවු ඇතිවය. අප්‍රිකා කලාපයේ රටවල් බොහොමයක ‘වැග්නර්’ කුලී හේවායන් ක්‍රියාත්මක වෙයි.