‘හිරේ දින 13ක විවේකයක් ලැබුණු එකට සතුටුයි‘


ආණ්ඩුවේ හෝටලයේ දින 13ක විවේකයක් ලබා ගැනීමට පුළුවන් වීම පිළිබඳව තමා සතුටු වන බවත් බොහෝ දෙනෙක් කියන්නේ බඩ නම් බැහැලා, සුදුවෙලා, නිවාඩුව හොඳින් ගත කළ බවත් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (5) පිවිතුරු හෙළ උරුම කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘මට සතපහක වියදමක් ගියේ නෑ. කෑම බීම නවාතැන් පමණක් නෙවෙයි ප්‍රවාහනය සහ ජිවිතයේ නොතිබුණු ආරක්ෂාවක් මට ලැබුණා. මාව සුවිශේෂි ලෙස සති දෙකක් බලා ගත්තට සමස්ථ ආණ්ඩුවටම බොහෝම පින් කියලා කියනවා. හිරගෙදර ගෙවපු ඒ දින 13 මගේ ජිවිතයට අද්දැකීම් රාශියක් එකතු වුණ විදිහටයි මම දකින්නේ. ජිවිතය නැමැති විශ්වවිද්‍යාලයේ අත්දැකීම් නැමැති උපාධියට ගෞරව සමාර්ථයන් තියෙන පිරිසකගෙන් අත්දැකීම් ලබා ගන්න පුළුවන් වුණා. සිර ගෙදරදි මට හමුවුණු 99%ක්ම මත්ද්‍රව්‍ය වලට සැකකරුවන් සහ වැරදිකරුවන්. 57ත් දෙනෙක් හමුවුණා කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සැකකරුවන්. ගෝඨභය රාජපක්ෂ මහතාට බෝම්බය තැබු අය ඇතුළු විශාල පිරිසක් හමුවුණා. ක්‍රොන්ත්‍රාත් ක්‍රමයට මිනිමරන අය ඔවුන් ඒවට පෙළඹුනේ ඇයි ? ඔවුන් ලෝකය සමාජය පිළිබද දකින්නේ කොහොමද යන වග අලුත්මානයක් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණා.

‘අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කර ගැනීම ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රහණයක්.  හොටු ගෑනි දීලා කැහි ගෑනි ගැනීම වගේ වැඩක් මහ බැංකුවට සිදු වුණේ.  හැමෝම කතා කරන්නේ නව මහ බැංකු අධිපතිගේ අධ්‍යාපනික සුදුසුකම් සහ පළපුරුද්ද.  නමුත් තනතුරක් ලබා දීමේ දී හැකියාව, අවංකභාවය සහ පක්ෂපාතිත්වය යන තුනම බලන්න ඕනෑ. හැකියාව පිළිබඳ අපට ප්‍රශ්නයක් නෑ. නමුත් අවංකභාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා.  කුමාරස්වාමි මහතාට සෘජුවම චෝදනා එල්ල වුණේ නැතත් ඔහු වැරදි වෙලාවේ වැරදි තැන ඉඳලා තිබෙනවා. පක්ෂපාතිත්වය පිළිබඳ ගැටළුව මතු වන්නේ රාජ් රාජරත්නම් හරහා.  රාජ් කොටි සංවිධානයේ ප්‍රමුඛතම ආධාරකරුවෙක්.  අර්ජුන් මහේන්ද්‍රන් රාජ්ගේ සමීප මිතුරෙක්.  කුමාරස්වාමි රාජ්ගේ සේවකයෙක්.  කොටි අරමුදල් ජාලයෙන් මිදිලා අපේ ආර්ථිකය හැසිරවීමට කෙනෙකු සොයා ගැනීමට බැරි තරමට මේ ආණ්ඩුවේ කොටි අරමුදල් වල හිර වෙලා ද කියන ප්‍රශ්නය මතු වෙනවා‘ යැයි ද ගම්මන්පිල මහතා කීවේය.