‘‘අල්ලස, දූෂණය නැති නොකළොත් සැමරුම් උත්සව ලබන වසරේ එපා‘‘


(අංජුල මහික වීරරත්න)

කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් එහි බලධරයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනතාව විසින් උත්පාදනය කර ඇති බලය භාවිත කර ජනතාවට යුක්තිය ඉටු නොකරන්නේ නම් එම බලය ඵලක් නොවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ , "2024 ජාත්‍යන්තර දූෂණ විරෝධී දින ජාතික සැමරුම" වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (09) පැවැති උත්සවයේදීය.

"සුපිළිපන්න හෙටක් සඳහා තාරුණ්‍යය එකමුතු කරමු " යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සැමරීම සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් අවශ්‍ය තරම් නීති සහ ආයතන පැවතුණත් එම නීතිය භාවිත කර අල්ලස් හෝ දූෂණය වළක්වාලීමට කටයුතු කර තිබෙන බව තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසීමක් කළ යුතු බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

දූෂණය සහ අල්ලස සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබෙන අතර 2013 ජාත්‍යන්තර දර්ශක අනුව 79 වන ස්ථානයේ පැවති ශ්‍රී ලංකාව 2023 වසර වන විට 115වන ස්ථානයට පැමිණීම නිසා ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරීම සිදු කරනු ලබන්නේ මන්දැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

වසරෙන් වසර දූෂණය සහ වංචාව වැඩිවීමක් සිදුව ඇති බවත් එය ලබන වසරේදී අවම කර ගැනීමට නොහැකි නම් ජාත්‍යන්තර දින සැමරුම් පැවැත්වීමේ වටිනාකමක් නොමැති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.