‘‘ජනපති අනුර රනිල්ගේ ගිවිසුම ක්‍රියාත්මක කරනවා‘‘


(නිමල කොඩිතුවක්කු)

වත්මන් රජය ජනවරමට පිටුපා අයිඑම්එෆ් ගිවිසුම ගැන ජනතාවට දුන් පොරොන්දු අමතක කර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය ක්‍රියාත්මක කළ ගිවිසුමම තවදුරටත් ක්‍රියාත්මක කරනවා යැයි - සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂයේ සිටි කාලයේ අයි.එම්එෆ් ගිවිසුමේ ඇති අඩුපාඩුකම් ගැන කතා කර ඒවා නිවැරදි කර නව ගිවිසුමකට යොමුවෙනවා කිව්වත් බලය ලැබුණු පසු ඒ පොරොන්දු කඩකරමින් සිදු කළ මෙම ක්‍රියාව බරපතල පාවාදීමක් බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මීගමුවේ පැවැති ජනහමුවක් අමතමිනි.

එදා ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ ණය තිරසරණකරණ ගිවිසුමකට ප්‍රවේශ වී නව වැඩපිළිවෙළකට යන බව වුවත් දිනපු ගමන් කියපු දේ අමතක කර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය එකඟ වූ රටට අවාසිදායක ගිවිසුමකට යාම බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

මේ ගිවිසුම හරහා අවසානයේ ගෙවන්න ඇති ණය කප්පාදු වනවා වෙනුවට අමතර ඇ. ඩොලර් බිලියන 2.3ක ණයක් ද ගෙවීමට සිදුවන බවත් විපක්ෂනායකවරයා පැවසීය.

රටක් ලෙස අවාසිදායක ගිවිසුමකට නොයා පාර්ලිමේන්තුවේ මතය මේ සම්බන්දයෙන් ප්‍රථමයෙන් සොයා බැලිය යුතු බවත් ලංකාවට අවාසිදායක ගිවිසුමකට නොයා යුතු බවත් ඔහු සඳහන් කළේය.

රටේ ණයබරතාව වැඩිවන විට සෞඛය අධ්‍යාපන කෘෂිකර්ම ධීවර ක්ෂේත්‍රවල ගැටලු රැසක් ඇතිවන බවත් මේ ගැන ජනතාව අවබෝධයෙන් සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.