’’2025 අන්තර්ජාතික ධෛර්ය සම්පන්න කාන්තාව’’ නාමිනී


(විමුක්ති එස් රුද්‍රිගු)

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ නාමිනී විජේදාස මහත්මිය "2025 අන්තර්ජාතික ධෛර්ය සම්පන්න කාන්තාව" සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගේ "2025 අන්තර්ජාතික ධෛර්ය සම්පන්න කාන්තාවන්" ලෙස හැඳින්වෙන මෙම සම්මාන උළෙල ලබන සතියේදී ඇමෙරිකාවේ වොෂිංටන් නුවරදී රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ජනාධිපති ආර්යා මෙලෙනියා ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

නාමිනී විජේදාස මහත්මිය සම්මානය සඳහා නිර්දේශ කරමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ උපුටා ගැනීමේ සටහන්ව තිබුණේ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති සම්මානලාභී මාධ්‍යවේදිනියක් වන නාමිනී විජේදාස මහත්මිය, ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමේ මිනිස් හානිය වාර්තා කරමින් සහ එහි ප්‍රතිවිපාකවලින් පීඩාවට පත්වූවන්ට හඬක් දෙමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ මාධ්‍යවේදිනියක් බවය.

කාලයාගේ ඇවෑමෙන්, ඇයගේ අවධානය විමර්ශනාත්මක වාර්තාකරණය හරහා දූෂණයට එරෙහිව සටන් කිරීමටත්, තීරණාත්මක වගවීමේ ගැටළු පෙරමුණට ගෙන ඒමටත් විජේදාස මහත්මිය කටයුතු කළ බව එම උපුටා ගැනීමේ දැක්වේ.

එසේම ඇය ඊළඟ පරම්පරාවේ මාධ්‍යවේදීන්ට ආදර්ශයක් බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු උපුටා ගැනීමේ සටහන් විණ.

තම මාධ්‍යකරණය තුළින් විජේදාස මහත්මිය නිරන්තරයෙන් වගවීම වෙනුවෙන් පෙනී සිට ඇති බවත් අර්ථවත් වෙනසක් සාක්ෂාත් කරගත හැක්කේ බලයේ සිටින අයගෙන් ජනතාව විනිවිදභාවය ඉල්ලා සිටින විට පමණක් බව ඇය පෙන්වාදී ඇති බවත් එම උපුටා ගැනීමේ දැක්වේ. මෙරට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට නීතිමය සීමාවන් තිබීම හේතුවෙන් ඇතැම් මාධ්‍යවේදින් පසුබසින විට විජේදාස මහත්මිය තවමත් නොසැලී සිටින බව එහි සඳහන් වේ.