’’ගුවන් යානා අනතුරේ සම්පූර්ණ වාර්තාව මෙතෙක් පිටවෙලා නෑ’’


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටීමේ ගුවන් අනතුර සම්බන්ධ වාර්තාව මෙතෙක් පිටවී නැතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය  නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අනතුරට පත් ගුවන් යානය සම්බන්ධ වාර්තාව පමණක් ලැබී ඇති බව කී අමාත්‍යවරයා බිමල් රත්නායක අමාත්‍යවරයා අදාළ ප්‍රකාශය කර ඇත්තේ එම වාර්තාවෙන් හෙළිදරව් වන කරුණු අනුව බව නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

"ගුවන් යානය සම්බන්ධයෙන් වාර්තාව තමා ආවේ. ගුවන් අනතුර සම්බන්ධයෙන්  වාර්තාව තාම ආවේ නෑ. ඒකට දින කිහිපයක් ගත වේවි. ගුවන් යානාවේ වාර්තාවෙන් හෙළිදරව් වෙන දේ තමා බිමල් රත්නායක අමාත්‍යවරයා කිව්වේ. අනතුර සම්බන්ධයෙන් මොකද්ද වෙන්න පුළුවන්, කාගේද අඩුපාඩුව ආදිය ගැන කරුණු කියන්න වෙන්නේ සමස්ත අනතුර ගැන වාර්තාව පිටවුණාට පස්සේ.ඒවාර්තාව ලැබුණට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හෝ අදාළ බලධාරියෙක් කරුණු ඉදිරිපත් කරනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.