චීවරයට මුවා වී කඩාකප්පල් වැඩ කළොත් වරදී - බුද්ධි අංශ සෙවිල්ලෙන් මහජන ආරක්ෂක ඇමති


සුජිත් හේවාජුලිගේ

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමේ සිද්ධියට මුවාවී කඩාකප්පල්කාරි මෙන්ම රට අස්ථාවර කිරීමේ ක්‍රියාවන්හි යෙදෙන විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ‘ඉරිදා ලංකාදීප’යට පැවසූවේය.

එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් බුද්ධි අංශ කණ්ඩායම් යොදවා කරුණු සොයා බලාගෙන යන බව පැවසූ අමාත්‍යවරයා එවැනි දේවලට කිසිසේත්ම ඉඩ නොදෙන බව ද නිදහස් උද්ඝෝෂණ මෙන්ම පා ගමන්වලට රජයෙන් කිසිදු බාධාවක් නොකරන බවද ඒ අයිතිය ඉතා හොඳින් ආරක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය. වර්තමාන රජය යටතේ දවසක් දෙකක් නොව වසර දෙක තුනක් වුව ජනතාවට බාධාවක් නොවන විදියට සාමකාමීව වාඩිවී උද්ඝෝෂණ කළ හැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය.

චීවරයේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශේෂ කමිටුවක් පත්කර අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගෙන ඇතත් අධිකරණය දුන් තීන්දුවලට පිටින් ඔහු කටයුතු නොකරනු ඇතැයිද සඳහන් කළේය. පසුගිය කාලයේදී නීතියට පිටින් දුන් ජනාධිපති සමාව අධිකරණය විසින් අහෝසි කෙරුණු බවද ඔහු සිහිපත් කළේය.