මදුරන්කුලිය - සෙම්බැට්ටිය ප්‍රදේශයේ තරුණයකු නිවසින් අතුරුදන්වී සති ගණනක් ගතවුවත් ඔහු ඉන්න හිටින තැනක් සොයා ගැනීමට නොහැකිවීම නිසා එම තරුණයාගේ පවුලේ අය ඔහු අතුරුදන්ව සිටි දවසේ පටන් සිටියේ හැඬූ කඳුළිනි.
බිරිඳ සමග ඇතිකරගෙන තිබූ ආරවුලක් නිසා ඔහු ගෙදරින් යන්නට ගොස් ඇති අතර බිරිඳද සිය සැමියාගේ අතුරුදන්වීම ගැන සිතමින් ගතකර ඇත්තේ හරිම හිත් වේදනාවකින්ය. පුතා ඉන්න තැනක් සොයාගන්න අපි දේවාලයකට ගිහින් සාස්තරයක් අහලා බලමු යැයි කියා අතුරුදන්ව සිටින තරුණයාගේ මව යෝජනාවක් කර ඇත.
බිරිඳ කළ ඒ යෝජනාවට සැමියාද ලේළියද කැමැත්ත පළකර ඇත්තේ වෙන කරන්න දෙයක් ඔවුන්ට ඉතිරිව නොතිබූ නිසාය.
නොරොච්චෝලේ දළුව ප්‍රදේශයේ මෙවැනි වැඩවලට හොඳ දේවාලයක් තියනවා. ඒ දේවාලයේ ඉන්න මෑණියන්ට කරන්න බැරි දෙයක් නැහැ කියා ඔවුන්ට දැන ගැනීමට ලැබී ඇත්තේ හිතවතුන් කිහිපදෙනෙකුගේ මාර්ගයෙනි.
නැන්දම්මා, මාමණ්ඩිය හා ලේළිය මේ දේවාලය සොයාගෙන යන්නේ මහත් බලාපොරොත්තු සිත්වල දරාගෙනය. මේ දේවාලය පිහිටා ඇත්තේ කල්පිටිය පොලිස් වසමේ දළුව ප්‍රදේශයේය. කාන්තාව දේවාලය පවත්වාගෙන යන්නේ ඇය පදිංචිව සිටින නිවසේම කොටසකය.
මෑණියෝ මායම් වෙන්නට පටන් ගත්තාහ. ඒ ඇයට ඇතැයි කියන දේව වරමකිනි. පවුල් ප්‍රශ්නයක් විසඳා ගන්න නේද ආවේ මායම් අතරවාරයේම මෑණියෝ සෙම්බැට්ටිය ප්‍රදේශයේ සිට ආ නැන්දම්මා මාමණ්ඩිය ගෙන් හා ලේළිය ගෙන් විමසූහ.
මියගිය පරාණකාරයකුගේ බැල්මක් ගෙදරට තියනවා. ඒ නිසා තමා ඔය ඔක්කොම ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. උඹලාගේ මියගිය ඥාතියෙකුගේ භූතයෙක් ගෙදර අරක් ගෙන ඉන්නවා. ඒ භූතයා අල්ලගත්තාම ගෙදර ප්‍රශ්න සේරම ඉවරයි. ඊට පස්සෙ ගෙදරින් තරහවෙලා ගිය උඹලාගේ පුතා ගෙදර එනවා. භූතයාගේ ඒ බලපෑම නිසා තමා පුතා ගෙදරින් ගිහින් තියෙන්නෙ යැයිද දේව මෑණියන් කියා ඇත්තේ ආරූඪයෙන්මය.
ඉදිරියට කළ යුතු දේවල් ගැන මෑණියෝ ඔවුන්ට උපදෙස් ලබාදුන්නේ මේ වැඬේට ලක්ෂ තුන හතරක්වත් වියදම් වන බවද පවසමිනි.
භූතයා ඇල්ලීමට අවශ්‍ය තෝත්තර කර ආරක්ෂාවක් සපයා සෙත් සාන්ති කිරීමට නිවසට පැමිණෙන බව මෑණියෝ පැවසූහ.
මෑණියෝ ඇයගේ ආවතේවකරුවෙක් සමග මදුරන්කුලිය සෙම්බැට්ටියේ පිහිටි නිවසට වරින්වර පැමිණ යහන් තට්ටු තබාගෙන ශාන්ති කර්ම කිහිපයක්ම සිදුකර ගොස් ඇත. තවත් දවසක නිවසට ආ දේව මෑණියන් ආවේශවී කියා ඇත්තේ ගෙවත්තේ නිධානයක් තිබෙන බවත් එයට බහිරවයෙක්ද අරක්ගෙන සිටිනවා කියාය.
පන්දම් විලක්කු අත දරා ආවේශයෙන් නටමින් ඇය නිවස ඉදිරිපිට ඇති තැනක් පෙන්නුවේ මෙන්න මෙතැන තමා නිධානය තියෙන්නේ යැයි පවසමිනි. නිධානය ගොඩගන්නා තෙක් මෙතැනට මල් පහන් පූජා ආරක්ෂා කළ යුතු බවද මෑණියෝ ගෙදර උදවියට උපදෙස් ලබා දුන්නාහ.
නියමිත දිනයේ මෑණියෝ ත්‍රීවිල් එකකින් සෙම්බැට්ටිය ප්‍රදේශයේ පිහිටි ඒ නිවසට ආවේ නිවසට අරක්ගෙන සිටින භූතයා අල්ලා බෝතලයකට දමා සිරකර නිධානය ගොඩ ගැනීමට මහා යාතුකර්මය කිරීමටය.
මේ යාතු කර්මය කිරීමටද දේව මෑණියෝ ආවේ ආවතේවකරුවකු ද කැටිවය.
රාත්‍රී කාලය එළැඹෙත්ම දේව මෑණියන් අමුතු භාෂාවකින් කතා කරමින් මන්තර මතුරමින් ආවේෂ වෙන්නට පටන්ගෙන ඇත්තේ බලා සිටින්නන් විස්මයට පත්කරමිනි. බෝතලයක් අතට ගත් දේව මැණියන් කළ අණදීමකට අනුව. ආවතේවකරු දුම්මල ගසද්දී දේව මෑණියෝ යාතිකා කරමින් ගේ පුරා දිව ගොස් ඇත්තේද ආවේශයෙන්මය.
දැන් ඉතිං උඹලා කිසිම කෙනෙක් බයවෙන්න එපා. මෙච්චර කාලයක් මේ ගෙදරට අරක්ගෙන හිටිය භූතයා දැන් ඉන්නේ මේ බෝතලේ ඇතුළේ. බෝතලයේ මූඩිය තද කරලා තියන හින්දා භූතයාට ආයෙත් එළියට එන්න බැහැ.
ඒ දේව මෑණියන් ගෙදර අය සමග කී කතාවයි.
ගෙදර නිවැසියෝ බහිරවයෙක් අරක්ගෙන සිටින ගෙවත්තේ ඇති බව මෑණියෝ පැවසූ ස්ථානයේ කැණීම් කරන්නට පටන්ගත්තේ ඉන්පසුවය. මෑණියෝ පෙන්වූ තැන අඩි 03ක් පමණ කැණීම් කර ඇත්තේ ගෙදර උදවිය විසිනි.
ඔවුන් කැනීම් කටයුතු නතරකර ඇත්තේ මෑණියන්ගේ නියෝගයට අවනත වෙමිනි.
අඩි තුනක පමණ ගැඹුරට කැණීම් කර තිබූ වළට බැස්ස මෑණියෝ මායම් වෙමින් එතැනින් එහාට කැණීම් කළේ දේව මෑණියෝය. දැන් ඉතිං උඹලාගෙන් කෙනෙක් වළට බැහැලා නිධානය ගොඩගනිං. එතකොට සේරම කරදර දුක් පීඩා ඉවරයි. බහිරවයාගේ බැල්මත් දූරිම්භූත වෙලා යනවා සත්තයි අත්දුටුයි යැයි දේව මෑණියෝ ආරූඪයෙන් කියා සිටියහ.
නිවසේ ගෘහ මූලිකයා වළට බැස පිත්තල සෙම්බු 6ක් සහ රන් පැහැති බුදු පිළිම තුනක් ගොඩගත්තේ බලා සිටියවුන් මවිතයෙන් මවිතයට පත්කරමින් යැයි කියති.
නිධන් කර තිබියදී ගොඩගත් රන් පැහැති බුදු පිළිම තුන හා තඹ සෙම්බු 6 දේව මෑණියන්ට වෙන්කර තිබූ කාමරයට ගෙන ගොස් පසුව ඒ කාමරයේම ඇති අල්මාරියක දමා වසා ඇත. දවස් හතක් යනකම් මොනම හේතුවක් නිසාවත් කිසිම කෙනෙක් කාමරයට නොයන ලෙසත් අල්මාරිය විවෘත කර නොබලන ලෙසත් දේව මෑණියෝ ගෙදර උදවියට පවසා ඇත්තේ එහෙම කළොත් දේව ශාපයට සෑමදෙනාම ලක්වෙන බවය.
භූතයා අල්ලා දමාගත් බව කියූ බෝතලය ගෙදර අයිතිකාරයා අතට පත්කළ මෑණියන් කියා ඇත්තේ එම බෝතලය ගලාගෙන යන ජලාශයකට දමන ලෙසය. භූතයෙක් අල්ලා දමාගත් බව කියන බෝතලය මුට්ටියක දමා වසා තිබූ එම මුට්ටියට අමතරව තවත් මුට්ටියක් දේව මෑණියන් නිවසේ අයිතිකරුට ලබාදී එයද ගලාගෙන යන ජලාශයකට දමන ලෙස පවසා ඇත.
නිවසේ හිමිකරු ඒ දෙකම කළපුවට ගෙන ගොස් දමා තිබුණේ දේව මෑණියන්ගේ අණ අකුරටම පිළිපදිමිනි. දේව මෑණියන් දවස් හතක් යනතුරු කාමරයට ඇතුළු නොවන ලෙසත් නිධානයෙන් ගොඩගත් බුදු පිළිම හා පිත්තල සෙම්බු බහා ඇති අල්මාරිය විවෘත නොකරන ලෙසත් අණකර තිබුණත් යාගය අවසන්වී දින තුනක් හතරක් යනවිට නිවෙස් හිමියාට කිසියම් සැකයක් මතුවීම නිසා අල්මාරිය විවෘත කර බලා ඇත.
බුදු පිළිම තුන පමණක් අල්මාරියේ තිබූ අතර නිධානයෙන් ගොඩගත් සෙම්බු එහි දක්නට තිබුණේ නැත. තමා වතුරට විසිකළ මුට්ටි දෙකේ සෙම්බු බහා තිබෙන්නට ඇති බවට නිවෙස් හිමියා සැක පහළ කර ඇත.
මීගමුව ප්‍රදේශයේ සිටින කිමිදුම්කරුවන් දෙදෙනෙක් කුලියට ගෙන්වාගත් නිවෙස් හිමිකරු කළපුවේ තිබී ඒ මුට්ටි දෙක යළි ගොඩගෙන පරික්ෂා කර බැලීමේදී ඒවායෙන් එකක භූතයෙක් අල්ලා දැමූ බව පැවසූ බෝතලයත් අනෙකේ අගුරු කැබලි කිහිපයක් බහා ප්ලාස්ටර් ඔෆ්පැරිස් දමා තිබෙන අන්දමත් ඔහුට දැකගැනීමට ලැබිණි.
වංචාකාරියකට අසුවී ඇති බව වටහාගත් නිවෙස් හිමියා ඇය ගෙදරට ගෙන්වා ගැනීමට හරිම අපූරු උපක්‍රමයක් යොදා ඇත.
මටත් දිෂ්ටියක් වැහෙන්න පටන් අරන්. ඉක්මනට ඇවිත් මොනවාහරි කරන්න. දවසට තුන් හතර පාරක් දිෂ්ටිය මගේ ඇඟට වැහෙනවා යැයි නිවසේ හිමිකරු දේව මෑණියන්ට දුරකථනයෙන් කතා කර කියා ඇත.
දුරකථන ඇමතුම ලැබුණු වහාම දේව මෑණියෝ ඔහුගේ නිවසට පැමිණියාය. ඒ වනවිටත් නිවසේ හිමිකරු දිෂ්ටිය වැටී දඟලමින් සිටින අයුරු ගෙට ගොඩවූ දේව මෑණියන්ට දැක ගැනීමට ලැබී ඇත.
මෑණියෝ මන්තර ජපකර නූලක් ඔහුගේ අතේ ගැට ගසා සුරයක් බෙල්ලේ එල්ලා ඇත්තේ ආයෙත් කවමදාවත් දිෂ්ටිය වැටෙන්නේ නැති බවට සහතික වෙමින්ය. මට ඇති දිෂ්ටියක් නැහැ ගෑනියේ. උඹ අපිව රවට්ටලා ලක්ෂ 03ක් ගත්තා. ඒ සල්ලි ටික සේරම මට ආයෙත් දෙන්න ඕනා. නැත්නම් අපි උඹව පොලිසියට බාරදෙනවා. මොකද කියන්නේ යැයි කියා නිවසේ හිමිකරු දේව මෑණියන්ට තර්ජනය කර තිබේ.
තමා නිවෙස් හිමියා යෙදූ උගුලකට අසුවී ඇති බව දේව මෑණියන්ට තේරුම් යනවිට ඇය ප්‍රමාද වී වැඩිය.
බුදු මහත්තයෝ මාව පොලිසියට අල්ලා දෙන්න එපා ඔයාගෙන් ගත්ත සල්ලි ටික සේරම දෙන්නම්. මගේ දුවට කතා කරලා සල්ලිත් අරන් එන්න කියන්නම් කියා දේව මෑණියෝ නිවෙස් හිමියා ඉදිරියේ පින්සෙන්ඩුවීමට පටන්ගෙන ඇත. දේව මෑණියෝ සිය දියණියට දුරකථන ඇමතුමක් ලබාදී දුවේ ලක්ෂ 03ක් අරගෙන සෙම්බැට්ටියට ඇවිත් මාව බේරාගෙන යන්න. සල්ලි දුන්නේ නැත්නම් ගෙදර අය මාව පොලිසියට බාර දෙන්න යනවා යනුවෙන් පවසා ඇත.
මව උපදෙස් දුන් අන්දමට සල්ලි අරගෙන එනවා වෙනුවට දියණිය මුන්දලම පොලිසියට පැමිණ කට්ටියක් තමාගේ මව ගෙදරක සිරකර තබාගෙන සිටින බවට පැමිණිලි කළාය.
මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතාගේ උපදෙස් මත ඩී. එම්. එස්. රණවීර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් පැමිණිලිකාරියද කැටිව අදාළ නිවස සොයා ගියහ.
ඇත්ත කතාව කුමක්ද කියා එහි ගිය පොලිස් කණ්ඩායමට දැන ගැනීමට ලැබුණේ උප පොලිස් පරීක්ෂක රණවීර මහතා ගෙදර අයගෙන් කළ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් වශයෙනි.
දේව මෑණියන්ගේ ආවතේවකරුද සිටියේ නිවාස අඩස්සියේය.
මහත්තයෝ අපේ පුතා එයාගේ නෝනත් එක්ක තරහ වෙලා ගෙදරින් ගිහින් කොහේ ඉන්නවාද කියන්න දන්නේ නැහැ. ඒ ගැන සාස්තරයක් අහන්න මේ ගෑනිගේ දේවාලයට ගිය වේලාවේ තමා මේ විදිහට බොරු කියලා අපිව රැවැට්ටුවේ. ලක්ෂ 03 ක් ශාන්ති කර්මයට කියා වරින්වර අපෙන් ඉල්ලා ගත්තා. ශාන්ති කර්මයට අවශ්‍ය කරන පූජා භාණ්ඩ ගන්නත් අපිට ලක්ෂයක් විතර වියදම් වුණා. මගෙයි නෝනගෙයි අපේ ලේළිගෙයි කනකර සේරම උකස් කරලා තමා සල්ලි හොයාගත්තේ. මේ ගෑනි මහා වංචාකාරියක් මහත්තයෝ. අපි මෙයාව පොලිසියට බාරදෙන්නයි හිටියේ.
නිවෙස් හිමියා පොලිස් නිලධාරීන් සමග කියා සිටියේය.
ගෙදර අනෙක් අයගෙන්ද ප්‍රකාශ ලබාගත් උප පොලිස් පරීක්ෂක රණවීර මහතා දේව මෑණියෙක් ලෙස පෙනී සිට ලක්ෂ 03 ක මුදලක් වංචා කළ බව කියන කාන්තාව අත්අඩංගුවට ගනු ලැබීය.
උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් කණ්ඩායමට දේව මෑණි කෙනෙක් ලෙස පෙනී සිටින කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය මෙසේ පවසා ඇති බව දැනගැනීමට ඇත.
“මේ ඇත්තමයි මහත්තයෝ මම කියන්නේ. මම දන්න මන්තර ශාස්ත්‍රයක් නැහැ. මට ඇති දේව බලයක් හෝ වෙනත් අද්භූත බලයක් ද නැහැ. දේවාලයට පේන අහන්න සාස්තර අහන්න එන අයට නොදැනෙන්න ඒ අයට තියන ප්‍රශ්න දැනගන්න සාස්තරේ නම් මම දන්නවා. මගේ සැමියා දාලා ගිහින්. ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසයි දේවාලයක් පටන්ගත්තේ. දැන් දේවාලය පටන් අරගෙන අවුරුදු පහක් විතර වෙනවා. හොඳ ගතමනාවක් සොයා ගන්නවා. දරු පැටවුන්ට කන්න බොන්න දෙන්න විදිහක් නැති නිසයි මේවගේ දෙයක් කරන්න පටන්ගත්තේ. මම වෙන රස්සාවක් කරන්න දන්නේ නැහැ.
වයඹ හා උතුරු මැද පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන සහ වයඹ පළාත බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පුත්තලම කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ. ඒ. චන්ද්‍රසේන සහ පුත්තලම සහකාර පොලිස් අධිකාරී එස්. සන්දනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක ඩී. එම්. එස්. හේරත් සහ උප පොලිස් පරීක්ෂක එන්. කේ. මෙන්ඩිස් යන මහත්වරුන් ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වා සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
මුන්දලම පොලිසියේ සැරයන් ප්‍රේමසිරි (27775) සහ පොලිස් කොස්තාපල් ජයසිංහ (41342) යන මහත්වරුන්ද මෙම පරීක්ෂණවලට හවුල්වී තිබේ.