අපේ වියදමින් අපි රට යන එක සමහරුන්ට දරාගන්න බෑ


මේ දිනවල මගේ පවුලේ අය එක්ක ඕස්ට්‍රේලියාවට ඇවිත් ඉන්නෙ, කලින් සූදානම් කළ සංචාරයකට අනුවයි. මේක අපේ පුද්ගලික සංචාරයක් මිසක, කාගෙවත් මුදල් හෝ ආණ්ඩුවේ මුදල් වැය කරලා නෙවෙයි. තනිකරම මගේ වියදමින් ආ සංචාරයක්. මේ වගේ අභූත චෝදනා කරන්නෙ, සමාජ මාධ්‍යවල සිටින සමහර උදවියයි. රටෙන් පනින්න මට අවශ්‍යතාවක් නැහැ. දැන් බලාගෙන ගියාම - අපට කිසිම රටකට යන්නවත්, අපි කැමති තැනක කන්න බොන්න එළියට යන්නවත් බැරි තත්ත්වයක් තියෙන්නෙ.

හිටපු ප්‍රවීණ මලල ක්‍රීඩක සුගත් තිලකරත්න වත්මනෙහි කටයුතු කරන්නේ - ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසය. මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ  ඔහු ගැන විවිධ අදහස් හුවමාරු වන්නේ, ඔහු රට හැර ගිය බව දක්වමිනි. සමහර වෙබ් අඩවි ඔස්සේ පවා ප්‍රචාරය කර තිබුණේ, නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයා සිය පවුල සමග ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් ඇතැයි යනුවෙනි. නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයා  කාටත් හොරෙන්, කාටත් නොකියා - රට හැර ගියේද?ඒ ගැන විමසීමට මේ දිනවල  ඕස්ට්‍රේලියාවේ සිටින සුගත් තිලකරත්න දුරකථනය ඔස්සේ අපි සම්බන්ධ කර ගත්තේ මෙලෙසිනි.


සුගත් කොහොමද වැඩකටයුතු මේ දිනවල?


මේ දිනවල ජීවිතය ගෙවෙන්නෙ විශාල වගකීම් රැසක් එක්ක. නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මට ලොකු වගකීමක් පැවරිලා තියෙන්නෙ. මුළු රටේම සමස්ත ක්‍රීඩාව ගැන අවධානය යොමු කර, ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් පැවරී ඇති ඒ වගකීම ඉටුකිරීම මගේ අරමුණ යි. රටේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මගේ උපරිමය කරන්න ප්‍රයත්න ගන්නවා. 


නියෝජ්‍ය ක්‍රීඩා ඇමති තනතුර ඔබට දැනෙන්නෙ කොහොම ද?


ක්‍රීඩා කළ කාලයේ ඉඳලම මගේ අරමුණ වුණේ රට වෙනුවෙන් හැකි උපරිමය කිරීමයි. සෑම පදක්කමක් ම ලබාදීමට වෙහෙසුණේ මම ලබන පුද්ගලික පදක්කමක් විදිහට නෙවෙයි.  රට වෙනුවෙන් ලබන ජයක් විදියට යි. මලල ක්‍රීඩා සංගමයේ සභාපති හැටියට පසුව කටයුතු කරද්දී පවා මම කැපවුණේ ඒ විදිහටයි. ගෙවී ගිය ඒ කාලයේ දී මට වැඩ කරන්න ලැබුණෙ බොහෝ දුෂ්කරතා, අවහිරතා එක්කයි. හැබැයි මම සහ අපි කළ හොඳ වැඩ සහ නෙළා දුන් ප්‍රතිඵල ගැන කවුරුවත් වැඩිය කතා වුණේ නැහැ. එයින් පසුව තමයි මෙරට ක්‍රීඩාව වෙනුවෙන් නව වැඩ පිළිවෙළක් සකස් කිරීමේ අරමුණ ඇතිව මේ නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලැබුණෙ. රටක වගකීමක් බාර දුන්න කෙනෙක් ලෙස ක්‍රීඩාවට ආදරය කරන මිනිස්සු මගෙන් බලාපොරොත්තු වෙන්නෙ, ක්‍රීඩාවට සුබවාදී දෙයක් කරාවි යන්නයි. ඒ වෙනුවෙන් යහපත් ක්‍රීඩා සංස්කෘතියක් මේ රටේ නිර්මාණය කිරීමට උත්සාහ ගන්නවා. 


මේ දිනවල ලොකු කසු කුසුවක් පැතිර යනවා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා  සිය පවුල සමග රට හැර ගිහින් කියලා? මොකක්ද මෙහි ඇත්ත ?


මේ දිනවල මගේ පවුලේ අය එක්ක ඕස්ට්‍රේලියාවට ඇවිත් ඉන්නෙ, කලින් සූදානම් කළ සංචාරයකට අනුවයි. මේක අපේ පුද්ගලික සංචාරයක් මිසක, කාගෙවත් මුදල් හෝ ආණ්ඩුවේ මුදල් වැය කරලා නෙවෙයි. තනිකරම මගේ වියදමින් ආ සංචාරයක්. මේ වගේ අභූත චෝදනා කරන්නෙ, සමාජ මාධ්‍යවල සිටින සමහර උදවියයි. රටෙන් පනින්න මට අවශ්‍යතාවක් නැහැ. මේ වගේ කිසිදු පදනමක් නැති චෝදනා කරන අයගේ මානසික මට්ටම කොයි වගේද කියලා ඒ මගින් අපට මැනගන්න පුළුවනි. ලස්සන රටක ඒ වගේ අවලස්සන අදහස් තියෙන අයත් ඉන්නවා. දැන් බලාගෙන ගියාම - අපට කිසිම රටකට යන්නවත්, අපි කැමති තැනක කන්න බොන්න එළියට යන්නවත් බැරි තත්ත්වයක් තියෙන්නෙ. ඒ වගේ මිනිස්සු ගැන මට නම් තියෙන්නෙ අනුකම්පාවක්. අනෙක මම මේ විදිහට රටෙන් පිටව ගියේ පළවැනි වතාවට නෙවෙයි. වයස 19 ඉඳලම විදෙස් රටවලට ගිය කෙනෙක්. ඒක මට අලුත් දෙයක් නෙවෙයි. ඕස්ට්‍රේලියාවට ආවෙත් පළමු වතාවට නෙවෙයි.  මීට පෙර කීප වතාවකම ඇවිත් තියෙනවා. අපි රට යන එක ගැන, කාලා ඇඳලා ඉන්න එක ගැන ඊර්ෂ්‍යයා කරන, වෛර කරන පිරිසක් සිටින බව පෙනෙනවා. විශේෂයෙන්ම අපේ දේශපාලන පසුබිම එක්ක තමයි සමහර අයට මේක තදින් දැනිලා තියෙන්නෙ. අපි රට යන එක අපේ වියදමින් නම් - ඇයි ඒ තරමට සමහරුන්ට දරා ගන්න බැරි? ඒ වගේ අභූත චෝදනා ඉදිරියේදී ඒ අය තවත් කරාවි. අපි බලමු.


ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නැහැනෙ  නේද? නිකම්ම මේ වගේ දෙයක් කියන්නෙත් නැහැ නේද?


මම ඉස්සෙල්ලා කිව්වා වගේ, සමහරුන්ට අපි ජීවත්වෙන විදිහ දරා ගන්න බැරුව ඇති.  


එදා බොහෝ දෙනෙක් ඔබට කිව්වෙ නිවුණු ගති ඇති ක්‍රීඩකයෙක් කියලයි අදටත් එහෙමද? 


අදටත් ඒ වගේම තමයි. හැබැයි අසාධාරණකම් හමුවේ නිකම් කට පියාගෙන ඉන්නෙ නැහැ. ඒ වෙනුවෙන් ඕනැම වෙලාවක නැගී සිටීමේ හැකියාව තියෙනවා. රට වෙනුවෙන් ක්‍රීඩාව වෙනුවෙන් ශක්තිමත් ගමනක් යාම තමයි අරමුණු කරගෙන ඉන්නෙ. 


නියෝජ්‍ය ක්‍රීඩා ඇමතිවරයා ලෙස ඔබට පැවරී තිබෙන වගකීම හඳුනාගෙන සිටින්නෙ මොන විදියට ද? ඔබගේ රාජකාරිය කරගෙන යාමට නිදහස් අවකාශයක් තියෙනව ද?


දැනට ජාතික ක්‍රීඩා සංගම් 74 ක් විතර තියෙනවා. ඒ සියලුම සංගම් එක්ක ගනු දෙනු කිරීමට අපට සිදුව තිබෙනවා. ඒ සියලු දෙනා එක්ක කටයුතු කරමින්, ඇති ගැටලු නිරාකරණය කරගෙන ක්‍රීඩාව නිවැරදි අයුරින් කරගෙන යාමේ පසුබිම සැකසීමට අපට විශාල ගැටලුවක් වෙලා තියෙන්නෙ ක්‍රීඩා සංගම්වල ඇති අභ්‍යන්තර ගැටලු නිසයි. ඒ ගැටලු මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තියෙන ගැටලු නිරාකරණය කරගෙන, රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. ජාත්‍යන්තරව ජයග්‍රහණ ලබන්න නම්, අපි ඒ වෙනුවෙන් ක්‍රමවේදයන් සැලසුම් ක්‍රියාත්මක කරන්න වෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය හරහා අපට පැවරී ඇති වගකීම ඉටු කිරීමටත් අපි කැපවෙලා ඉන්නෙ. රටේ සියලුම පුරවැසියන් හට ක්‍රීඩාවේ ඇති හරය ගැන වටහා දීම සහ එහි ඇති වැදගත්කම ගැන කියාදීම වෙනුවෙන් සංචිත වැනි දේ පැවැත්වීමටත් අපි කටයුතු කරගෙන යනවා. ඒ වෙනුවෙන් මැදිහත් වීම අපේ වගකීමයි. ඒ වගකීම ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට අපි බැඳී සිටිනවා විතරක් නෙවෙයි. එය ප්‍රායෝගික කරන්නත් කටයුතු කරනවා. 


මලල ක්‍රීඩාවට විතරද වැඩිපුර අවධානය යොමු කරන්නෙ?


රටේ සමස්ත ක්‍රීඩාවටම අපි අවධානය යොමු කරලා තියෙන්නෙ. ලෝකයේ තියෙන අවස්ථා වඩා ළඟ මලල ක්‍රීඩාව එක්කයි. ඒ නිසා මලල ක්‍රීඩාවට වගේම ආසියාතික මට්ටමින් එහා ගොස්, ලෝක මලල ක්‍රීඩා සහ ඔලිම්පික් මට්ටමින් අපට ජයග්‍රහණ ලබන්න අවස්ථා වැඩි ක්‍රීඩා වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කිරීම කළ යුතු වෙනවා. ඒවාට අවශ්‍ය සැලසුම් මේ දිනවල සකස් කරමින් සිටිනවා. සමහර වෙලාවට සමහරු හිතාවි මේවා සැලසුම් විතරයි කියලා, ඒත් ඒවා අවශ්‍ය වෙලාවට සිදුවේවි. මිනිස්සු බලන කෝණයෙන්ම එක් වර, ක්ෂණිකව  ඒ සියල්ල කරන්න බැහැ. මාර්තු මැද විතර වෙනකොට අපට සමහර දේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් වේවි. ලෝකයේ දැනුම හොයාගෙන ඒ දැනුම අපේ පුහුණුකරුවන්ට ලබා දීම ද කළ යුතු දෙයක්. නිවැරදි ක්‍රමවේදයක් සකස් කිරීම කළොත් සියල්ල යහපත් විදිහට සිදුවේවි. ඒ ක්‍රමවේදය සකස් කිරීම තමයි අරමුණ.  මම මලල ක්‍රීඩා නියෝජ්‍ය ඇමති නෙවෙයි. ක්‍රීඩා නියෝජ්‍ය ඇමති. ඒ නිසා අවධානය යොමු කරන්නෙ මලල ක්‍රීඩාවටම විතරක් නෙවෙයි. රටේ සමස්ත ක්‍රීඩාව කෙරෙහිමයි.