ශ්‍රී ලංකාවේ සාමාජිකයන් සිවු දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගනිමින් දරිද්‍රතා රේඛාවේ සිටීමට පමණක් රුපියල් 60,000 ක මුදලක් මාසිකව අවශ්‍ය වන බවත්, එම පවුලේ රක්ෂාව කරන්නේ එක් අයෙකු නම් ඔහු හෝ ඇය රුපියල් 60,000 ක මාසික වැටුපක් සිය පවුලේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා ඉපැයිය යුතු බවත් ශ්‍රී ලංකා - කොරියා ව්‍යාපාරික කවුන්සිලය විසින් පවත්වන ලද විද්වත් සාකච්ඡාවක දී ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක මහත්මිය පැවැසුවාය.
වාසනාවකට මෙන් එම පවුලේ දෙදෙනෙකු රස්සාව කරන්නේ නම් එක් අයෙකු රුපියල් 30,000 ක මාසික වැටුපක් ඉපැයිය යුතු බවද ඇය ප්‍රකාශ කළාය. නමුත් තවමත් මෙරට පුද්ගලයකුගේ අවම මාසික වැටුප රුපියල් 17,500 ක් බව ද පෙන්වා දුන් ඇය පසුගියදා අවම වැටුප රුපියල් 5000 කින් වැඩිවූ බවත් එසේ වැඩි වීමෙන් පසුව අවම වැටුප 17,500 සීමාවට පැමිණි බවත් ප්‍රකාශ කළාය.
මෙරට 70-ක් පමණ වෙන උපාධිධාරි තරුණ තරුණියන්ට ඔවුන්ගේ රැකියාවේ මුල් අවස්ථාවේ දී ලැබෙන්නේ රු. 30,000 - 40,000 අතර වැටුපක් බවත් ඇතැම් අවස්ථාවන්හි එම වැටුප රු. 50,000 තෙක් ඉහළ යන බවත් සඳහන් කළ බණ්ඩාරනායක මහත්මිය 2002/2023 වසරේ දී එම වැටුප රු.15,000 - 25,000 අතර සීමාවේ පැවැති බවද පෙන්වා දෙමින් යල් පැනගිය වැටුප් තල යාවත්කාලීන නොකරන්නේ පුද්ගලික අංශයේ ව්‍යාපාර සිය නව සේවකයන් දුගී භාවයෙන් පෙලෙනු දැකීමට කැමැති නිසාවෙන්දැයි ප්‍රශ්න කළාය.
ප්‍රමාණවත් පරිදි සේවක පිරිසක් නොමැති බවට පුද්ගලික අංශයේ ලියාපදිංචි ව්‍යාපාර මැසිවිලි නඟන අතර මෙවන් තත්ත්වයක් මත සෑම වසරකම ලක්ෂ 2ත් 3ත් අතර ප්‍රමාණයක් විදේශ රැකියා සඳහා යාම පිළිබඳව පුදුමයට පත් නොවිය යුතු බවත් මෙරට පුද්ගලික අංශය එක තැන පල් වීමට හේතුව යල් පැන ගිය කම්කරු නීති සහ වැටුප් ක්‍රම වන අතර ඒවා වෙනස් කිරීමට කාලය එළඹ ඇති බවත් සඳහන් කළාය.
මෙරට ශ්‍රම බළකා දායකත්වය සියයට 50 ට වඩා අඩු බැවින් සිවු දෙනෙකුගෙන් යුතු පවුලක සිවු දෙනාම රැකියා කරන අවස්ථා දුර්ලභ බව ද ඇය පෙන්වා දුන්නාය.
මෙරට කාන්තාවකට ලැබෙන වැටුප ඇයගේ පවුලේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමටවත් ප්‍රමාණවත් නොවීම නිසා කාන්තාවන් ශ්‍රම බළකායට දායකත්වයක් ලබාදීමට උනන්දුවක් නොදක්වන අතර මෙරට ශ්‍රම බළකායට දායකත්වය ලබා දෙන්නේ සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක අයෙකු යැයි පැවැසූවොත් එය වැරැදි නොවන බව ද ඇය පැවැසුවාය.
වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය නිශාන් ද මෙල් පවසා සිටියේ, කාන්තාවන් රැකියාවලට බඳවා ගැනීමේ දී වෙනස් කොට සැලකීම ඔවුන් ශ්‍රම බළකායෙන් ඈත් කර තැබීමට හේතුවක් වී ඇති බවයි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කළ සමීක්ෂණවල දී පවා මේ කරුණ අනාවරණය වී තිබෙන බව මෙල් මහතා පැවැසුවේය.
කාන්තාවක් රැකියාවට බඳවා ගැනීමේ දී පිරිමියෙක් එම තනතුර සඳහා බඳවා ගන්නවාට වඩා වැඩි මුදලක් දැරීමට සිදුවීමට හේතුවක් ලෙස දක්වන අතර ඇය මව් පදවිය ලැබීමට සූදානම් වන සෑම අවස්ථාවකදීම ගන්නා මාස හතරක මාතෘ නිවාඩු සඳහා සේවායෝජකයාට වැටුප් ගෙවීමට සිදුවීම හේතුවෙන් සේවායෝජකයන් පිරිමින් රැකියා සඳහා වැඩි වශයෙන් බඳවා ගැනීමට කැමැත්තක් දක්වන බව ද ආචාර්ය නිශාන් ද මෙල් මහතා පැවැසුවේය.
මාතෘ නිවාඩුවල බර සේවායෝජකයාට ලබානොදෙන රටවල් 159 ක් ලෝකයේ තිබෙන බව එම රටවල් මාතෘ නිවාඩුවල බර සමාජගත කර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
කිසිම විටකත් කාන්තාවන් ලබා ගන්නා මාතෘ නිවාඩුවල බර සේවායෝජකයාට දැරීමට නොදිය යුතු බවත් එසේ වුවහොත් කාන්තාවක් බඳවා ගැනීමට හැකි රැකියාවට පිරිමි පුද්ගලයකු බඳවා ගැනීමට සේවායෝජකයන් නැඹුරු විය හැකි බවත් ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසා තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.
මාතෘ පදවියේ බර රාජ්‍ය විසින් දරන අවස්ථාවන්හි කාන්තාවන් ශ්‍රම බළකායට සහභාගී වීම සියයට 10 කින් වැඩි අවස්ථා ඕනෑ තරම් තිබෙන බව ද ආචාර්යවරයා ප්‍රකාශ කළේය.
වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය නිශාන් ද මෙල්, ඇඩ්වොකාටා ආයතනයේ සභාපති මුර්තසා ජැෆර්ජී සහ හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් යන මහත්ම මහත්මීහු ද මීට සහභාගී වූහ.
විමුක්ති එස් රුද්‍රිගු