පිළිකා රෝගී පවුල්වල දරුවන්ට උසස් පෙළ ශිෂ්‍යත්ව


පිළිකා ‍රෝගය ‍ලොව පුරා ජනතාව ‍පෙළෙන ප්‍රධාන රෝගාබාධවලින් එකකි. වර්තමාන ලෝකයේ සංකීර්ණ ජීවන රටාව හා ක්ෂණික ආහාර පාන වැඩි වශයෙන් භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලොව සෑම රටකම පාහේ පිළිකා රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන අතර, එය දරුණු සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වී හමාරය. ලොව පුරා සිදුවන මරණවලට ප්‍රධාන ‍හේතුව ‍ලෙස හෘද හා වාහිනීගත ‍රෝග සැල‍කෙන අතර, ‍දෙවෙනි තැන හිමිවන්නේ 
පිළිකා ‍රෝගයටයි.
ශ්‍රී ලංකාවේ කරන ලද සමීක්ෂණවලට අනුව 2006 වසරේ දී මියගිය පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව 10,386 ක් බව මෙරට සෞඛ්‍ය දත්ත වාර්තා කරයි. වාර්තා වෙන පරිදි මේ වෙන විට ශ්‍රී ලංකාවේ වාර්ෂිකව රෝගීන් 30,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වේ. 2012 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුව එම වසරේ අලුතින් පිළිකා රෝගීන් මිලියන 14.1 ක් හඳුනාගෙන ඇති අතර, එම වසර තුළ මිලියන 8.2 ක් මියගොස් ඇති බව ද පෙන්වා දෙයි. මේ අනුව 2025 වසර වෙනවිට අලුතින් රෝගීන් මිලියන 19.3 ක් හඳුනාගත හැකි වෙනු ඇතැයි ද, එම වසරේ මිලියන 13.2 ක් පිළිකා නිසා මිය යනු ඇතැයි ද අනුමාන කෙරේ. 


මෙසේ දිනෙන් දින වර්ධනය වන පිළිකා රෝගී තත්ත්වය රෝගීන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වලට ද මූල්‍යමය මෙන්ම මානසික ගැටලුවක් බවට පත් වී ඇත. පවතින ආර්ථික අර්බුදය හමුවේ දිනෙන් දින ඉහළ යන බඩු මිලත් සමග ඖෂධවල මිලද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මේ නිසා එම පවුල්වල සාමාජිකයන් මෙන්ම එම පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන්ට විවිධ ආර්ථික ප්‍රශ්න හමුවේ තම අධ්‍යාපනය පසෙක දමා මුදල් ඉපයීමේ කටයුතුවල නිරත වීමට සිදු වී ඇති අතර එම මුදල් නිවසේ කටයුතුවලට යෙදවීමෙන් පසු තම අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට ප්‍රමාණවත් මුදලක් 
ඉතිරි නොවේ. 
මෙවන් කාල වකවානුවක ෆැඩ්නා ආයතනය, මොරටුව නිව් හොරයිසන් සිංහ සමාජය හා එක්ව පිළිකා රෝගය වැලඳීම හේතුවෙන් මව හෝ පියා මියගිය පවුල්වල දරුවන් දිරිමත් කරමින් ජීවිතයේ වටිනා කඩඉමක් වන උසස් පෙළ විභාගයට සූදානම් වීම සඳහා ඔවුන්ට ශිෂ්‍යත්වයක් ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙම වැඩසටහන ෆැඩ්නා වර්නොලැක් අපේක්ෂා ශිෂ්‍යත්ව වැඩසටහන ලෙස නම් කර ඇත.
මෙහිදී ෆැඩ්නා ආයතනය කොළඹ විශ්වවිද්‍යාලය සමග එක්ව හඳුන්වා දුන් නවතම නිපැයුම් 4 අතුරින් එක් නිෂ්පාදනයක් වූ වර්නොලැක් (vernolac) නිෂ්පාදනයෙන් ලැබෙන ලාභයෙන් කොටසක් මෙම වැඩසටහන වෙනුවෙන් වෙන් කිරීමට එම සමාගම තීරණය කර තිබේ. වර්නොලැක් (vernolac) යනු පිළිකා සෛල නැසිය හැකි නිෂ්පාදනයක් වේ. මෙම ඖෂධ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමීර සමරකෝන් මහතා විසින් පර් යේෂණ කර සොයාගන්නා ලද නිෂ්පාදනයකි.


ෆැඩ්නා වර්නොලැක් අපේක්ෂා ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ මූලික පියවර ලෙස ඉකුත් 25 වැනිදා කොළඹ ගංගාරාම විහාරයේ මාධ්‍ය හමුවක් පවත්වමින් නිව් හොරයිසන් සිංහ සමාජය හා ෆැඩ්නා සමාගම අතර සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීම සිදු විය. මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට මූල්‍යමය දායකත්වය ෆැඩ්නා ආයතනය සපයන අතර මොරටුව නිව් හොරයිසන් සිංහ සමාජය මගින් මෙම ශිෂ්‍යත්වය ලබාදීම සඳහා සුදුස්සන් තෝරා දීම සිදු කරයි. 
මෙම මාධ්‍ය හමුව සඳහා සර්ව ආගමික නායකයින්, ෆැඩ්නා සමාගමේ නිර්මාතෘ හා කළමනාකරණ අධ්‍යක්ෂ චමේන්ද්‍ර සෝමතුංග, මොරටුව නිව් ‍හොරයිසන් සිංහ සමාජයේ ආරම්භක සභාපති හා වත්මන් පරිපාලක වජිරා තිලකුමාරි, කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමීර සමරකෝන් ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සම්බන්ධ වී සිටියහ. මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී මෙම පිළිකා රෝගීන් සිටින පවුල්වලට තම දුෂ්කරතා අවම කරගෙන ඉදිරියට යෑමට කළ හැකි විශාලම උපකාරය වනුයේ එම පවුල්වල දරුන්ගේ අධ්‍යාපනයට උදව් කිරීමෙන් බවත් මෙම සත් ක්‍රියාව සඳහා තම ආයතනය පමණක් නොව මෙම නිෂ්පාදනය මිලදී ගන්නා සෑම පාරිභෝගිකයෙකුම දායක වනු ඇති බවත් ෆැඩ්නා සමාගමේ නිර්මාතෘ හා කළමනාකරණ අධ්‍යක්ෂ චමේන්ද්‍ර සෝමතුංග මහතා සඳහන් කළේය.    
සටහන - ලිහිණි ලියනගේ 
ජායාරූප -   රුෂිරු කොළඹතන්ත්‍රිගේ