අපොස උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා විභාග මධ්‍යස්ථානවලින් පිටතට පැමිණෙමින් සිටි ගම්පහ ප්‍රදේශයේ බොහෝ සිසු සිසුවියන්ට උපකාරක පන්ති ගුරුවරයකු විසින් සකසන ලද අත්පත්‍රිකාවක් ලැබිණි. ඒ පසුගිය 19 වැනි සෙනසුරාදාය. උපකාරක පන්තියේ ගුරුවරයාගේද නම සඳහන්ව තිබූ එහි තිබුණේ මේ මොහොතේ ඔබ මුහුණ දුන් ප්‍රශ්න පත්‍රය සමඟ අප විසින් අවසන් සම්මන්ත්‍රණයේදී සිසුන්ට ලබාදුන් ප්‍රශ්න පත්‍රය සංසන්දනය කර බලන්න යනුවෙනි. පුදුමයකි. එම පත්‍රිකාවේ පසුපිට සඳහන්ව තිබුණේ එදින ප්‍රශ්න පත්‍රයේ එහෙම පිටින්ම තිබූ ප්‍රශ්න කීපයකි.
මෙවර උසස් පෙළ විභාගයේදී කළින් ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුවූවා දැයි යන බරපතළ ගැටලුව මේ සමඟ පැන නැගිණි. මේ නිසා එම විෂයට පිළිතුරු සැපයූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බරපතළ කළකිරීමකට පත්ව සිටියහ. විභාග කොමසාරිස්වරයා මේ පිළිබඳව පොලිසියට පැමිණිලිකර පසුව කියා සිටියේ එවැනි කරුණක් අනාවරණය වෙන්නේ නම් එම විෂයට අදාළව වෙනත් ප්‍රශ්න පත්‍රයක් නිකුත් කරන බවය.
කෙසේ වෙතත් මෙම සිදුවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් පසුව කළ පරීක්ෂණවලදී දැනට හෙළිවී ඇති කරුණුවලට අනුව අදාළ උපකාරක පන්ති ගුරුවරයා විසින් තම ටියුෂන් පන්තියට සිසුන් ආකර්ෂණය කර ගැනීමට යෙදූ උපක්‍රමයකටත් වඩා එහා ගිය ජාවාරමක් බව හෙළිකර ගැනීමට සමත්ව තිබේ.
උපකාරක පන්ති ගුරුවරයාගේ පියා සහ සොහොයුරා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව කොළඹ ප්‍රධානතම විදුහලක සිසුවෙකු හා වෛද්‍යවරයකු වන ඔහුගේ පියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත්තේය. උසස් පෙළ විභාගයේ පිළිතුරු ලිවීම සඳහා ඉතා සැලසුම් සහගතව සිදුකර ඇති මෙම උපක්‍රමය හුදෙකලා සිදුවීමක් නොවන බව දැන් සනාථ වෙමින් තිබේ.
කොළඹ ප්‍රධානතම විදුහලක ඉගෙනුම ලබන සිසුවා පදිංචිව සිටින්නේ බොරැල්ල ප්‍රදේශයේ බව කියැවේ. ඔහුගේ පියා ආරක්ෂක අංශවලට සම්බන්ධ රෝහලක වෛද්‍යවරයෙකි. ඔහුගේ එකම සිහිනය වූයේද තම පුත්‍රයාද වෛද්‍යවරයකු කිරීමය.
මෙවර උසස් පෙළ විභාගයට විද්‍යා අංශයෙන් පෙනී සිටින තම පුත්‍රයා ඉහළින්ම සමත් කර ගැනීමේ අවශ්‍යතාව ඔහුට තිබිණි. ඒ වෙනුවෙන් ඕනෑම මුදලක් වියදම් කිරීමටද ඔහුට හැකියාව තිබිණි. ටියුෂන් ලබාදීමට නිවාසවලට ගිය ටියුෂන් ගුරුවරයා අදාළසිසුවාට ද ටියුෂන් ලබා දුන්නේය.
ශිෂ්‍යයා විභාගයෙන් සමත් කිරීමට ඔවුන් අපූරු සැලසුමක් සකස් කළහ. මේ වෙනුවෙන් විදේශයකින් ගෙන්වන ලද සූක්ෂම සන්නිවේදන උපකරණ භාවිතා කළ බව ද කියැවේ. ශිෂ්‍යයා තම ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න සුක්ෂ්ම සන්නිවේදන උපකරණය මගින් උපකාරක පන්ති ගුරුවරයා වෙත ලබාදුන් පසුව ගුරුවරයා එම ප්‍රශ්න සඳහා උපදෙස් හා පිළිතුරු ලබාදුන් බව අනුමාන කෙරේ. මේ ආකාරයෙන් දින කීපයක් කළේ දැයි යන්නද ප්‍රශ්නයකි. මේ වෙනුවන් ශිෂ්‍යයාගේ පියාවන වෛද්‍යවරයා විසින් ගුරුවරයාට රුපියල් මිලියනයක මුදලක් ලබාදුන් බව ද කියැවේ.
මෙම සැලසුම හදිසියේ ගත් තීරණයක් නොව කලක සිට සැළසුම් කළ එකක් බව හෙළි වෙන්නේ ගම්පහ ප්‍රදේශයේ බෙදා දුන් මෙම අත් පත්‍රිකාව නිසාය. ටියුෂන් ගුරුවරයා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ රාජ්‍ය සේවකයකු වන ඔහුගේ සොහොයුරා ගම්පහ ප්‍රදේශයේ පිහිටි පරිගණක පිටු සැකසුම් හා මුද්‍රණ ආයතනයකට පැමිණෙන්නේ මීට මාසයකට පමණ පෙරය. එම ආයතනයට පැමිණ ඔවුන් ප්‍රකාශ කරන්නේ අගෝස්තු 19 දින අත් පත්‍රිකාවක් මුද්‍රණය කරගත යුතු බවය.
කී ආකාරයටම පසුගිය 17 වැනි දින ටියුෂන් ගුරුවරයාගේ සහෝදරයා ගම්පහ පිහිටි මුද්‍රණ ආයතනයට පැමිණියේය. “අපිට මුද්‍රණය කරගන්න ඕනෑ මෙන්න මේ ටික. මේ ටික කොළයේ එක් පැත්තකට ටයිප් කරන්න. අනිත් පැත්තට එන ටික අපිට හම්බවෙන්නේ අනිත්දා (19) උදේ. මම ඒක අරන් එදා උදේ එනවා. එතකම් මේ ටික ටයිප් කරමු. උපකාරක ගුරුවරයාගේ සහෝදරයා මුද්‍රණ ආයතනයේ ග්‍රැෆික් ශිල්පියාට කීවේය. මේ පිළිබඳව සැකයක් නොසිතූ ග්‍රැෆික් ශිල්පියා ඔහුට අවශ්‍ය පරිදි පත්‍රිකාව ටයිප් කළේය.
පත්‍රිකාවේ එක් පැත්තක් ටයිප් කර එහි පිටපතක් මුද්‍රණය කර අඩුපාඩුද සැකසූ ටියුෂන් ගුරුවරයාගේ සහෝදරයා ඉන් පිටපතක්ද රැගෙන ගියේ 21 දින උදේ යළි පැමිණෙන බව දන්වමිනි.
නියමිත පරිදිම ඔහු 21 දින උදේ 8.30 වනවිටම ගම්පහ මුද්‍රණ ආයතනයට පැමිණියේය. කළින් සකස් කර තිබූ පත්‍රිකාවේ අනෙක් පැත්තට මුද්‍රණ කළ යුතු දේ ඔහු ග්‍රැෆික් ශිල්පියාට පැවැසුවේ ඔහු අත තිබූ “ටැබ්” දුරකථනය දෙස බලාගෙනය. රූප සටහනක්ද ග්‍රැෆික් ආකාරයෙන් සටහන් කිරීමට තිබූ අතර ඒ යටතේ වූ කෙටි ප්‍රශ්න අටක් (08) ද ටයිප් කිරීමට ඔහු ග්‍රැෆික් ශිල්පියාට උපදෙස් දුන්නේය. ඊට අමතරව තවත් ප්‍රශ්න කීපයක්ද ටයිප් කරන ලෙස ඔහු උපදෙස් දුන්නේ “ටැබ්” දුරකථනය බලාගෙනය.
දින දෙකකට කලින් සකස් කර තිබූ පත්‍රිකාවේ අනෙක් පසට අදාළ ප්‍රශ්න ඇතුළත් කිරීමෙන් පසුව ඔහු මුද්‍රණ දෝෂ පරීක්ෂා කිරීම සඳහා එහි පිටපතක්ද මුද්‍රණය කරවා ගත්තේය. එම ආයතනයේම මුද්‍රණ යන්ත්‍රයෙන් එහි පිටපත් තොගයක් මුද්‍රණය කරගත යුතු වුවද මුද්‍රණය සිදුකරන ආයතනයේ ප්‍රධානියා තවමත් එහි නොපැමිණ සිටි නිසා ටියුෂන් ගුරුවරයාගේ සහෝදරයා ප්‍රමාදවෙන බව පවසා එම පත්‍රිකාවත් රැගෙන වෙනත් ස්ථානයකට රැගෙනගොස් මුද්‍රණය කරගෙන තිබේ.
එදින පෙ.ව. 11.30ට අවසන්වීමට නියමිතව තිබූ රසායන විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ සිසුන් විභාග මධ්‍යස්ථානයෙන් එළියට එනවාත් සමඟ මෙම පත්‍රිකාව ඔවුන් අතට ලැබිණි. එම පත්‍රිකාව බෙදා හැරීමට තෝරාගෙන තිබුණේ ගම්පහ නගරයේ පිහිටි ප්‍රධානතම විදුහල්වල පිහිටි විභාග මධ්‍යස්ථාන අසලය. එහි සඳහන්ව තිබූ අන්දමට සිසු සිසුවියන් පත්‍රිකාව හා විභාග ප්‍රශ්න පත්‍රය සසඳා බැලූ විට එහි සඳහන්ව තිබුණේ එකම ප්‍රශ්න කිහිපයකි.
තමා සිදුකළ මෙම විශ්මිත ක්‍රියාවෙන් පුදුමයට පත්වන සිසුන් තමන් වෙත ඇදී එනු ඇති බව අනුමාන කළ ටියුෂන් ගුරුවරයා ගම්පහ ප්‍රදේශයේ උපකාරක පන්තියක් ආරම්භ කිරීමේ සැලසුමද දියත්කර තිබිණි. ඔහු එතෙක් ගම්පහ හෝ දිවයිනේ කිසිදු නගරයක උපකාරක පන්ති නොපවත්වන ලද අතර එහෙත් ඔහු බෙදූ අත්පත්‍රිකාවේ සඳහන් වෙන්නේ තමා නුගේගොඩ, කුරුණෑගල, මහනුවර, කෑගල්ල, රත්නපුර හා මාතර ප්‍රදේශවල පන්ති පවත්වන බවය. ගම්පහ පන්තිය පවත්වන ස්ථානය පසුව දැනුම් දෙන බවද එහි සඳහන්ය. මේ සියල්ල සිතින් මවාගත් කරුණු වන අතර මෙම ගුරුවරයා නිවෙස්වලට ගොස් ටියුෂන් ලබා දෙන්නෙකු පමණක් බව කියැවේ.
“යුගයේ අසමසම රසායනික විද්‍යා දේශකයා” ලෙස එම පත්‍රිකාව මගින් තමන්ට හඳුන්වා දී ඇති මෙම පුද්ගලයා ඉහත කී මිලියනයක මුදල ද ලබාගත් බව කියැවේ. මේ සඳහා අවශ්‍යවන නවීන සන්නිවේදන උපකරණ ජපානයෙන් ගෙන්විය යුතු බව ශිෂ්‍යයාගේ වෛද්‍ය තාත්තාට නිර්දේශ කර ඇත්තේද මෙම ටියුෂන් ගුරුවරයා බවද කියැවේ. ඇසට නොපෙනෙන තරමේ අති නවීන සුක්ෂ්ම සන්නිවේදන උපකරණ භාවිතා කර ශිෂ්‍යයා ප්‍රශ්න පත්‍රයේ සඳහන් ප්‍රශ්න තම පියාටත් ගුරුවරයාටත් එවා ඇති බව කියති. එසේම පෙරළා ගුරුවරයා විසින් ලබාදුන් උපදෙස් අනුව ඔහු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා ඇති බවත් කියති.
ආරක්ෂක අංශයකට අයත් රෝහලක වෛද්‍යවරයකු වන ශිෂ්‍යයාගේ පියා ආරක්ෂක අංශයක ඉහළ තනතුරක්ද උසුලන බව කියැවේ. කිසිදු අනාවරණයකින් තොරව සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ මෙම වැඩ පිළිවෙළ නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවී ඇත්තේ ටියුෂන් ගුරුවරයාගේ ක්‍රියාවක් නිසාය. ශිෂ්‍යයාට උපදෙස් දීමට රුපියල් ලක්ෂ දහයක් ලබාගත්තේ නම් ඉන් සෑහීමකට පත් නොවී තමන්ට අනිසි ප්‍රචාරයක් ලබා ගැනීමට කළ උත්සාහයත් සමඟ මෙම ජාවාරම අල්ලා ගැනීමට හැකිවිය. අදාළ ටියුෂන් ගුරුවරයා මෙම ක්‍රියාව මීට පෙරත් සිදුකර ඇත්දැයි විමර්ශනය කෙරෙමින් පවතී.
ටියුෂන් ගුරුවරයා මේ වනවිට සැඟවී සිටින අතර කඳාන ප්‍රදේශයේ පදිංචි ගුරුවරයාගේ පියා සහ සහෝදරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේය. පසුව ගම්පහ ග්‍රැෆික් ආයතනයේ හිමිකරුද අත්අඩංගුවට පත්විය. සොහොයුරාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කොළඹ ප්‍රධානතම විදුහලේ ශිෂ්‍යයා හා ඔහුගේ පියා පිළිබඳව තොරතුරු හෙළි කර ගැනීමට හැකිවිය. ගුරුවරයාට ප්‍රශ්න පත්‍රයේ ඡායා පිටපතක් අති නවීන යන්ත්‍රය ආධාරයෙන් එවා ඇත්තේද ශිෂ්‍යයා විසින් බව කියැවේ. ඔහු ඒ වනවිටත් අත් පත්‍රිකාව මුද්‍රණය කිරීම පිණිස ගම්පහට පැමිණ තිබිණි. නමුත් අත් පත්‍රිකාවක් මුද්‍රණය කරන බව ශිෂ්‍යයා හෝ වෛද්‍යවරයා දැන සිටියේ නැත. එහෙත් ටියුෂන් ගුරුවරයා කළින්ම සැලසුම් කළ පරිදි එහි පිටපතක් “වයිබර්” මගින් තම සහෝදරයාට යවා තිබිණ.
අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර ගුරුවරයාගේ පියා, සහෝදරයා, මුද්‍රණ ආයතනයේ හිමිකරු, ශිෂ්‍යයා සහ ඔහුගේ පියා ලබන 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා නියා්ග කළේය. එදින ගුරුවරයාගේ පියා සහ සහෝදරයා හඳුනා ගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියමිතය.
එහෙත් මෙම ජාවාරමේ මහ මොළකරු තවමත් සිටින්නේ නිදැල්ලේය. ඔහු අත්අඩංගුවට පත්වීමෙන් පසුව මෙම ජාවාරමේ දිග, පළල, අනාවරණය කර ගැනීමට හැකිවෙතැයි පොලිසිය අපේක්ෂා කරයි.
දොම්පේ-අජිත් මදුරප්පෙරුම