හපුගල වත්තේ ද්විත්ව ඝාතනය
වලව් පවුලකින් පැවත එන මාලනී ජාගොඩ හා ජයනාම ජාගොඩ ලොකු බූදලයකට උරුමකම් කියන අවිවාහක සහෝදර සහෝදරියන් දෙදෙනෙකි.
මාලනී හෙද නිලධාරිනියක් ලෙස සේවය කර විශ්‍රාම ගෙන සිටියාය. අවිවාහක සොහොයුරිය හා සොහොයුරා පදිංචිව සිටියේ පෝද්දල වක්වැල්ල හපුගල අක්කර පහ මවුන්ට් පර්සන්ට් වත්තේය.
අයියා වූ ජයනාමගේ වයස අවුරුදු 72 කි. නංගීගේ වයස අවුරුදු 70 ක් විය. මේ සොහොයුරා සහ සොහොයුරිය සමග නිවසේ ඔවුන්ගේ පුංචි අම්මා කෙනෙක්ද පදිංචිව සිටියාය.ඇයගේ වයස අවුරුදු 92 කි.
පුංචි අම්මාගේ ඇස් පෙනීම හා කන් ඇසීම දුර්වලය.
ඒ නිසා පුංචි අම්මාව නහවා කවා පොවා ඇයගේ සෑම ඕනෑ එපාකමක්ම සොයා බලා ඇත්තේ මාලනීය.
අයියයි, නංගියි, පුංචි අම්මයි පදිංචිව සිටියේ අක්කර පහක පමණ වපසරියකින් යුතු පොල්, තේ හා කුරුඳු වගාවකින් යුතු ඉඩමකය. ඉඩමේ මැදට වන්නට ඔවුන් තිදෙනා පදිංචිව සිටි නිවස පිහිටා ඇත්තේය.
ගමේ කිසිම කෙනෙකු එක්ක වැඩි කතා බහකට නොගිය අයියයි, නංගියි ජීවත් වී ඇත්තේ තමන්ගේ පාඩුවේය. එ්ත් ගමේ කාටවත් ඔවුන්ගෙන් අබමල් රේණුවකවත් කරදරයක්, හිරිහැරයක් නම් සිදුවී නැත.
වලව් පැලැන්තියකින් පැවත එන නිසා ඔවුන් ගමේ ජීවත් වී ඇත්තේද වලව්කාරයන් ලෙසය.
ගමේ මොනයම් හෝ අයෙක් වත්තට ඇතුළු වී වත්තේ වැටී තිබෙන පොල් ගෙඩියක් එහෙමත් නැත්නම් පොල් අත්තක් අහුලාගෙන යනවාට අයියයි, නංගියි කැමැති නැත.
අයියයි, නංගියි මේ වත්තේ පදිංචියට පැමිණ ඇත්තේ මීට අවුරුදු 20 කට කලින්ය. අක්කර පහ මවුන්ට් පර්සන්ට් වත්තට මේ තුන් දෙනා පදිංචියට ඒමට කලින් පදිංචිව සිට ඇත්තේ ඔවුන්ට අයත් බවට පැවසෙන වඳුරඹ ප්‍රදේශයේ වත්තකය.
අයියටයි නංගිටයි අයත් අක්කර පහ වත්තේ වගාවන් බලා කියා ගෙන වැඩ පළ කිරීමට කංකානි කෙනෙක් පත්කර සිටියේය. ඔහුගේ නම ලෙක්මන් කන්දසාමිය.
කොච්චර ලොකු පොහොසතෙක් වුණත් ජයනාම ජාගොඩ කඩේට හෝ හංදියට ගියේ පා පැදියෙනි.
වී ගෝණියක් බයිසිකලයේ බැඳගෙන ජයනාම හංදිෙය් වී මෝලට යන දසුන ගමේ කොයිකාටත් නුහුරු නුපුරුදු දසුනක් නම් නොවේ. දිනය පසුගිය 20 වැනිදාය.
වත්තේ කංකානි කන්දසාමි සුපුරුදු පරිදි පැමිණියේ වත්තේ ඔහුට පැවරී ඇති වැඩ කොටස කිරීමටය. ඒ වෙනකොට උදේ 7.30 ට පමණ වන්නට ඇත. වත්තට ඇතුළුවෙන්නට ඇති ගේට්ටුව ඒ වෙනකොටත් තිබුණේ වසා දමාය.
වෙනදාට නොවරදවාම ඒ වෙනකොට ජයනාම මහත්තයා ඇවිත් ගේට්ටුව විවෘත කර තිබුණත් අද ගේට්ටුව විවෘත කර නැත්තේ ඇයිද කියන එක ගැන කන්දසාමිට ඇති වී ඇත්තේ කුකුසකි.
ගේට්ටුවට ගසා තිබූ කම්බි දැල් අතරින් තිබූ හිඩැසකින් රිංගාගත් කන්දසාමිට වැඩිදුරක් යන්නට ලැබුණේ නම් නැත. නෙත ගැටුණු දර්ශනයෙන් කන්දසාමිගේ ඇස් උඩ ගියේය. කෑ ගැසුණේ ඉබේටමය. ජයනාම මාත්තියාව කවුදෝ මරා දාලා
වත්තෙන් එළියට පැනගත් කන්දසාමි යටිගිරියෙන් කෑ ගසා ඇත. අහල පහළ උදවිය වත්තට දුව ගෙන ආවේ කන්දසාමිගේ ඒ කෑගැසීම ඇසීමෙනි.
නිවසේ සිට ගේට්ටුවට ඇති දුර මීටර් 200 ක් පමණය.
නිවසත් ගේට්ටුවත් අතර ජයනාම ජාගොඩ මහතා වැටී සිටියේ ලේ විලක් මැදය. ගම්මුන් තවදුරටත් විපරම් කර බැලීමේදී දක්නට ලැබී ඇත්තේ නිවසේ කොරිඩෝව අසල මාලනී ද ලේ විලක් මැද ඇද වැටී මියගොස් සිටින අන්දමය.
මාලනීගේ හා ජයනාමගේ පුංචි අම්මා නිවසේ කාමරයක් තුළ නිරුපද්‍රිතව සිටියදී ගම්මුන්ට හමුවී ඇත.
ගම්මුන් මේ ගැන දැනුම් දුන්නේ පෝද්දල පොලිසියටය.
පෝද්දල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක මාහෝගම මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් කඩිනමින් ද්විත්ව ඝාතනය සිදුවී තිබුණු නිවසට ආවේ මේ ගැන පරීක්ෂණ පැවැත්වීමටය.
කලින් දින එනම් 19 වැනිදා රාත්‍රියේ මේ ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
කංකානි වත්තේ වැඩ අවසන් කර ගිය පසු හැමදාම රෑට පැමිණ ගේට්ටුව වසා දමා යන්නේ ජයනාම මහතාය.
ජයනාම මහත්තයා වත්තේ ගේට්ටුව වසා ඉබි යතුරු දමා අාපසු නිවසට යද්දී අතරමග රැක සිටි අයෙක් හෝ කිහිප දෙනෙක් ඔහුව මරා පසුව ඔහුගේ නැගණිය ද මරා දමන්නට ඇති බවට පොලිස් පරීක්ෂණවලින් පෙනී ගොස් තිබිණි.
ජයනාම මහතාගේ සිරුර වැටී තිබුණ ආකාරය අනුව නිවස දෙසට යද්දී ඔහු ඝාතනයට ලක්වී ඇති බව පොලිසියේ නිගමනය වී ඇත.
මෙච්චර දෙයක් වුණත් ඒ බවක් මාලනීගේ පුංචි අම්මා දැන සිටියේ නැත. ඇය මේ බව දැනගත්තේ එහි ගිය ගම්මුන්ගෙනි.
ඒ වෙන කිසිවක් නිසා නොව ඇයගේ ඇස් පෙනීම වගේම කන් ඇසීමත් ඉතා දුර්වල මට්ටමක පැවතීම නිසාය.
නිවසේ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කර බැලීමේදී පොලිසියට පිහි දෙකක් හමුවුණේ කාමරයක අත සෝදන බේසමක් තුළ තිබියදීය. මේවා ඝාතකයන් සොයා ගැනීමට යම් හෝඩුවාවක් සපයනු යැයි පොලිසිය විශ්වාස පළ කළේය.
ගාල්ල කොට්ඨාස අපරාධ පරීක්ෂණ ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා රුවිනි ගුරුසිංහ මහත්මිය ඇතුළු එම ඒකකයේ පොලිස් කණ්‍ඩායමක් ද පැමිණ ස්ථානීය පරීක්ෂණයක්ද සිදුකරනු ලැබිණ.
අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසියේ නිල සුනඛ තාරා එම අපරාධය සිදුවූ ස්ථානයට කැඳවාගෙන ආවේ ඒ පිහි දෙක සුනඛයාට ඉවකිරීමට සැලස්වීමටය.
පොලිස් නිල සුනඛ තාරාට ඉව කිරීමට සැලස්වීමෙන් පසු ඌ නිවසේ සිට කිලෝ මීටර් 4 ක පමණ දුරක් ගෙවා කෙළින්ම ගොස් නැවතුණේ ඒ ප්‍රදේශයේ පිහිටි නිවසක් ඇතුළට ගොස්ය.
මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලාල් සෙනෙවිරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය හා උපදෙස් මත පොලිස් නිල සුනඛයා මෙහෙයවනු ලැබුවේ පොලිස් කොස්තාපල් රොෂාන් 89295 මහතා විසිනි. පොලිස් නිල සුනඛයා පිහිවලට ගොස් ලබාගත් ඉව ඔස්සේ ගොස් අන්තිමේදී නැවතුන නිවසේ සිටි පුද්ගලයෙක් ඒ වන විටත් සිටියේ ප්‍රදේශයෙන් අතුරුදන්වය.
පොලිසියේ සැකය මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් යොමුවී ඇත්තේ දැනට ආගිය අතක් සොයා ගැනීමට නොමැති මෙම පුද්ගලයා වෙතය.
පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සොයනුයේ පොලිස් නිල සුනඛයා ලබාදුන් හෝඩුවාවෙන් පස්සේය.
පොලිසියේ සැකයට ලක්වී තිබෙන මෙම පුද්ගලයා කොස් ගෙඩි මිලදී ගෙන ඒවා විකුණා ජීවිකාව ගෙන යන අයෙකි.
මාලනී ගේ හා ජයනාම ගේ නිවසේ තිබී සොයාගත් පිහියා දෙක ද මේ පුද්ගලයාට අයත් බවට තොරතුරු පොලිසියට ලැබී ඇත. මොහු අත්අඩංගුවට ගත් පසු මේ ද්විත්ව ඝාතනයේ සුල මුල හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය විශ්‍වාසය පළ කරයි.
මෙම ද්විත්ව ඝාතනයට මේ කියන පුද්ගලයාට අමතරව තවත් දෙදෙනෙක් ද සම්බන්ධවී ඇති බවට මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් පෙනී යන නිසා ඔවුන් දෙදෙනා අල්ලා ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි. පොලිසිය සැක කරනුයේ මෙය මුදල් කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක් යැයි කියාය.
දෙදෙනා මැරුම් කා ඇත්තේ ගෙල ප්‍රදේශයට වූ බරපතළ කැපුම් තුවාල හේතුවෙන් බව පශ්‍චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවිය.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුර මහතා සහ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්.කේ. චිත්‍රාණි මහත්මිය විසිනි.
ගාල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතා විසින් පෝද්දල පොලිසියට අමතරව ගාල්ල දිසා නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක කේ.එච්.එස්. පාලිත මහතාට මෙම ද්විත්ව ඝාතනය සිදුකළ සාහසිකයන් අල්ලා ගැනීමට පවරා ඇත.
නියෝජ්‍ය පොලිස්පති අලහකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ නීතිය බලගැන්වීමේ ඒකකයේ පොලිස් කණ්ඩායම මේ වන විටත් ද්විත්ව ඝාතනයට අදාළ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගෙන හමාරය.
ඝාතනයට ලක්වූ අයියාට සහ නංගීට අක්මීමන නරාවල ප්‍රදේශයේ ද වඳුරඹ කලාවේ ප්‍රදේශයේ සහ ගාල්ල නාගොඩ ප්‍රදේශයේ ද විශාල ඉඩම් ප්‍රමාණයකට හිමිකම් තිබෙන බව නීතිය බලගැන්වීමේ ඒකකයේ පොලිස් කණ්ඩායමට දැන ගැනීමට ලැබී ඇත.
මේ ප්‍රදේශ තුනේ පිහිටි ඉඩකඩම් හා දේපොළවලට බද්දේගම හා ගාල්ල අධිකරණ වල නඩු විභාග වෙමින් පවතින බවද එම නඩු විභාග වන්නේ ජාගොඩ පරම්පරාවේ සමහර අය සමගය.
වඳුරඹ ප්‍රදේශයේ සිට මේ අයියයි නංගියි හපුගල අක්කර පහ වත්තට පැමිණ ඇත්තේ මීට වසර 20 කට පමණ ඉහතදී වන අතර ඔවුන් දෙදෙනාගේ පුංචි අම්මා ඔවුන් ළඟට ගෙන්වා ගෙන තිබෙන්නේ 2012 වසරේදී බවද පොලිසිය තොරතුරු අනාවරණය කර ගෙන ඇත.
අයියාගේ හා නංගිගේ ඝාතනයෙන් පසුව නිවසේ තනිව සිටි පුංචි අම්මා ඇයගේ පවුලේ තවත් ඥාතීන් පිරිසක් විසින් බාරගෙන තිබේ.
කාලයේ වැලි තලාවෙන් වැසී ගිය අපරාධ ගණනාවක සුලමුල අනාවරණය කරගත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ පවතින ගාල්ල දිසා නීතිය බල ගැන්වීමේ එ්කකයේ නිලධාරීන්ට මේ ද්විත්ව ඝාතනයේ සාහසිකයන් ළඟදීම අල්ලා ගැනීමට හැකි වෙනවා ඇත.
ගාල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාගේ විශේෂ උපදෙස් මත ගාල්ල දිසා නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක කේ.එච්.එස්. පාලිත මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන්වරුන් වන මෙන්ඩිස් 28031, චන්ද්‍රසේන 7964, කොස්තාපල්වරුන් වන ප්‍රේමසිරි 57508, මධුශංඛ 60658 සහ බණ්ඩාර 37882 යන මහත්වරු මේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.
සටහන
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප
ඇල්පිටියේ චන්ද්‍රසිරි ගුණසේකර