අතීතයේ මෙන්ම අදත්, ලෝකයේ රට රටවල් අතර යුද්ධය.රටවල් තුළ අභ්‍යන්තර යුද්ධද ඒ අතර බහුලය.ලෝකයේ විවිධ ස්වරූපයේ යුධ ගැටුම් තුළ විවිධ ආකාරයේ සම්මුති, සාම එකඟතා හා සාම ගිවිසුම් ඇතිකර ගත්තා වූවද - ගල් තලාවක කොටන ලද ලෝකයේ එකම හා ප්‍රථම සෙල්ලිපිගත සාම ගිවිසුම ඇත්තේ ශ්‍රී ලංකාද්වීපයේ බව බොහෝ දෙනා නොදන්නවා යැයි සිතිය හැකිය.
මීට වසර 871 කට ඉහත, එනම් ක්‍රි.ව.1153 දී පළමුවැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186) සහ දෙවැනි ගජබා (1132-1152) යන රජවරැ අතර ඇති කර ගත් මෙම සාම ගිවිසුම- හිරියාල ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ගොකරැල්ල නගරයේ සිට සැතපුම් දෙකක් පමණ දුරින්, මැද්දේකැටිය වැව ඉස්මත්තේ සුන්දර කඳුවැටියක පිහිටි, ඓතිහාසික සංගමුව පුරාණ රජ මහ විහාස්ථාන භූමියේ ගල්තලාවක කොටා තිබේ.පළමුවැනි පරාක්‍රමබාහු සහ දෙවැනි ගජබාහු රජවරුන් අතර, රජරට ප්‍රදේශයේදී එවකට ඇති වෙන්නට ගිය යුද්ධය, එකඟතාවයකින් වළක්වා ගැනිම මෙම ගිවිසුමට අනුව සිදු කෙරුණු බැව් මහාවංශයේ සඳහන් වේ.
ගොකරැල්ල උඩබුලත්ගම ගම්මානයේ සුන්දර උස් කඳු මුදුනක, එහෙත් පහසුවෙන් ළඟාවිය හැකි පරිසරයක මෙම විහාරස්ථානය පිහිටා තිබේ. විහාර භූමියට ඇතුළු වෙනවාත් සමගම මුලින්ම හමුවන්නේ ඓතිහාසික වැදගත්කමකින් යුත් මෙම සෙල් ලිපියයි. ලංකා ඉතිහාසයේ බොහෝ දේ සඟවාගෙන සිටින සංගමුව විහාර භූමිය අවට ස්වභාව ධර්මයේ අසිරිය ඕනෑම අයෙකුගේ මනස පිනවන නිස්කලංක පරිසරයකින් සමන්විතය. අක්කර පනස් දෙකක විශාලත්වයකින් යුතු විහාර භූමිය පුරා නටබුන් රැසක් විසිර පවතී. සංගමුව විහාරස්ථානය දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ ඉදිකරන ලද්දක් සේ සැලකේ. උතුරින් කිඹුල්වානා ඔයෙන්ද, දකුණින් ගොපල්ලව පන්සල් කන්දෙන්ද, බටහිරින් අරගම කඳුයායෙන්ද, නැගෙනහිරින් මැද්දේකැටිය වැවෙන්ද විහාරභූමිය මායිම් වේ.
12 වැනි සියවසේ භාවිත කෙරුණු මධ්‍යකාලීන අක්ෂර මාලාවකින් ලියා ඇති සංගමු විහාර සෙල් ලිපිය මෙසේය.
1.(ස්වස්ති)ශ්‍රී මහා සම්මත පරම්පරා.
2.(යෙන්)නොපිරිහී ආ සත්‍ය ධන වූ ගජ
3.(බාහු)පරාක්‍රමබාහු දෙසුරු බඩු වම්.
4.හ(අප)කළ සන්ධානයට ජීවිතාන්ත,
5.දක්වා විරිහයක් නොකරම්හ.ඔවු
,6.නොවුන් අයාමෙහි පළමුවැ කෙනෙකුන් ,
7.ගේ....පසු වුවන් අත්පත්,
8.(වන්න)එක්කෙනෙකුන්.....
9.9වැ)මෙ.....රාජ්‍ය විලුප්ත වන නියායෙ.
10.න්....අප දෙදෙනා කෙරෙන්,
11.එක් කෙනෙකු (නි හට )සතුරු වූ රජදරු කෙ,
12.නෙක් ඇත්නම් දෙදෙනාටම සතුරහ.මෙ,
13.ට විරුද්ධයක් කලමො නම් තුණුරුවන් ආඥා, 14.මැකුවමුහ.....නරකයෙන් මුක්ත නොවූහම්හ.
මෙම ගිවිසුමේ සිංහල අනුවාදය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් දක්වා ඇති පරිදි මෙසේය.
‘‘යහපතක්ම වේවා, මහා සම්මත පරම්පරාවෙන් අඛණ්ඩව පැවත එන්නාවූද, නිරන්තරයෙන් සත්‍ය රකින්නා වූද ගජබා පරාක්‍රමබාහු දෙමස්සිනෝ වෙමු.අපි දෙදෙනා ඇති කරගත් සම්මුතියට දිවි තිබෙන තුරු හානියක් නොකරමු. අප දෙදෙනා අතරින් පළමුව මිය පරලොව යන අයෙකුගේ රාජ්‍යය අනෙක් තැනැත්තාට අයත්ය. මේ රාජ්‍යයන් විනාශ කිරීමට යම් සතුරු රජෙක් නැගී සිටියහොත් ඒ තැනැත්තා අප දෙදෙනාටම විරුද්ධව නැගී සිටි කෙනෙකුත් ලෙස සලකා ඔහුට විරුද්ධව කටයුතු කරමු. මේ සම්මුතියට හානිවන ලෙස කටයුතු කරන යම් කෙනෙක් වෙත්ද, ඔව්හු තුනුරුවන්ගේ ආඥාව කඩ කළ අය වෙති. එසේම ඔව්හු අපාගත වන්නාහ. එබැවින් අප දෙදෙනාම මෙම සම්මුතිය කඩකිරීමට නොපෙලඹෙමු.අනුන්ගේ යහපතම ධනය කොට ඇති අප දෙදෙනාගේ මේ ලියවිල්ල (ගිවිසුම)සඳ හිරු පවත්නා තුරු ලොව ලෝකයා) ආරක්ෂා කෙරේවා.
කරුණු කිහිපයක් නිසා මෙම සෙල්ලිපිය අනෙකුත් සෙල් ලිපිවලට වඩා වැදගත් ස්ථානයක් හිමිකර ගනී. බොහෝ සෙල් ලිපි ඉදිකර ඇත්තේ විහාරාරාම පූජා කිරීම් සඳහාය. එහෙත් මෙම සෙල් ලිපිය රාජකීය සමගි සන්ධානයක් තහවුරු කිරීම වෙනුවෙනි. මහාවංශයෙන් ප්‍රකාශිත වැදගත් කරුණු සනාථ කරන්නක්වීම තවත් විශේෂත්වයකි. සමගි සන්ධානය කඩකළහොත් තුනුරුවන් අණ මැකුවම්හ.නරකයෙන් මුක්ත නොවම්හ. යන්නෙන් එදා ආගම ධර්මය රජවරුන්ගේ ජීවිතවලට පවා කොතෙක් දුරට සම්බන්ධව පැවතියේද යන්නට ප්‍රමාණවත් සාධක අන්තර් ගතවීමද තවත් කරුණකි. සංගමුව විහාරස්ථානය එදා කල්ලක ලෙන. කල්ලක මහා විහාරය,
කල් මහ වෙහෙර,කාලවේල
මහා විහාරය, මණ්ඩලාරාම විහාරය,මණ්ඩලාරාමක විහාරය ආදී නම්වලින්ද හඳුන්වා ඇත. මලිදේව මහ රහතන් වහන්සේ තුන් පිටකය හදාළේද , විදසුන් වඩා රහත් වූයේද, මෙම භූමියේදී බවට සාධක ඇතැයි, කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය විමල් විජේරත්න මහතා විසින් සම්පාදනය කර ඇති ‘’මලියදේව මහ රහතන් වහන්සේ වැඩ විසු මණ්ඩලාරාම විහාරය’ නමැති ග්‍රන්ථයේ සඳහන්වේ.මෙම ස්ථානය අතීතයේ බළ කොටුවක් ලෙස භාවිත කර ඇති බවද පැවැසේ. විහාර භුමියේ ඇති ලෙන් කටාරම්වල බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා ඇති සෙල් ලිපිවලට අනුව, මෙම විහාරස්ථානය ක්‍රි.පූ. තුන්වෙනි සියවසට අයත් සේ සැලකේ.
ලෙන් විහාරය තුළ දක්නට ඇති සිතුවම් මහනුවර යුගයට අයත් ය. මෙම ස්ථානයේ ඉතිහාසය අනුරාධපුර යුගයෙන් පටන් ගෙන පොළොන්නරු යුගය හරහා මහනුවර යුගය දක්වා දිවෙන බැව් එකී යුගවලට අයත් සෙල් ලිපි හා බිතුසිතුවම්
වලින් හෙළිවේ.
සංගමු විහාරයේ සමහර ගල්ලෙන් ගෝඨයිම්බර යෝධයා විසින් නිර්මාණය කර ඇති බවටත් ,යෝධයාගේ බිරිද ගොකරැල්ල ප්‍රදේශයේ විසු බවටත්, ජනප්‍රවාද පවතී. අද පවා යෝධගේ නමැති වාසගම සමහර පවුල් සතුව පවතී. මාතලේ අලුවිහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන අවස්ථාවේ මෙම විහාරස්ථානයේ සිට අලුවිහාරය දක්වා මල් පෙරහැරක් ගමන්ගත් බැව්ද ජනප්‍රවාදයේ එයි. මෙම විහාර භූමියේ ලෙන් විහාරය තුළ ඇති බුද්ධ ප්‍රතිමාව මෙයට වසර වසර 20 කට පමණ පෙර නිදන් හොරුන් විසින් හාරා හානි සිදුකර ඇති අතර, මේ දක්වා එම ප්‍රතිමාව පිළිසකර කිරීමට පුරාවිද්‍යා බලධාරීන් කිසිදු පියවරක් ගෙන නැත. එසේම ලෙන් විහාරයට ඇතුළුවන දොරටුවේ ඇති දුර්ලභ ගණයේ මකර තොරණ (මහනුවර යුගයට අයත්) ඉරිතලා ගොස් ඇත.ගල් කණු, සඳකඩ පහණ, සිරිපතුල්, මුරගල් ඉපැරණි වැසිකිළි, ගල් පුවරු, උපෝසථාගාරයක නටඹුන්, ගල්ලෙන් සහ ලෙන් විහාරයේ බිතුසිතුවම් ආරක්ෂා කර ගත යුතු පුරාවස්තු අතර වැදගත් තැනක් ගනී. සිංහලයාගේ ප්‍රෞඪ ඉතිහාසය ලොවට හඩ ගා පවසන මෙම පුරාවස්තු අකාලයේ විනාශ වී යාමට ඉඩ නොදී ආරක්ෂා කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු වගකීමකි.
හුදකලා ප්‍රදේශයක පිහිටි මෙම විහාරස්ථානය සහ පුරාවස්තූන් කොතරම්
බාධක මැද වුවද අද දක්වා ආරක්ෂා කර ගැනීමට මහඟු මෙහෙයක් කරන වත්මන් විහාරාධිපති අලුත්ගම මංගල හිමියන්ට අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.
ගොකරැල්ල චරිත රත්නායක ඉබ්බාගමුව-
ආර්.එම්.කුලසූරිය