දේශබන්දු, ලංකා පුත්‍ර, විශ්වකීර්ති, දේශ ශක්ති ශ්‍රී ලංකා ජන රංජන, ශාසන කීර්ති, කලානිධි, වීර මාතා, දිරිය මාතා සහ ජ්‍යොතිෂ විශාරද යනාදී ගෞරව නාම පිරිනැමීමට තෝරාගෙන ඇති බව පවසා රට පුරා සිටින සිය ගණන් දෙනා රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමේ නිරතව සිටින ආයතනයක් සම්බන්ධයෙන් සොයා බලා එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇත.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට මේ මහා වංචාව සම්බන්ධයෙන් ඉකුත් 13 වැනිදා පැමිණිලිකර ඇත්තේ මෙම වංචාවට අසුවූ සාමදාන විනිශ්චයකාරවරයෙක් විසිනි.
පොලිස්පතිවරයාට පැමිණිලිකරමින් යවා ඇති එම ලිපිය සමග මෙම හොර උපාධි පිරිනමන ආයතනය විසින් ඔහුට එවා තිබූ ලිපි ලේඛන පමණක් නොව ඒ හා සම්බන්ධ බැංකු ගිණුම් හා දුරකථන අංකද වෙති. සාමදාන විනිශ්චයකාරවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙන ආකාරයට මෙම වංචාව සිදුකරගෙන යනු ලබන්නේ චීවරධාරියෙකු ලෙස පෙනී සිටින අයෙකි.
සමස්ත ලංකා ගුණ සමරු පදනම යනුවෙන් එම ලිපිලේඛනවල සඳහන් කර එම ආයතනයේ අධ්‍යක්ෂ ලෙස පෙනී සිටිමින් අත්සන් කර ඇත්තේ ඔළුකරඳේ... නායක ස්ථවිර යන නමිනි.
මේ තමන් අත්සන් කර යවා ඇති ලිපි ලේඛන පරීක්ෂා කර බැලීමේදී මෙකී චීවරධාරියා සාමාන්‍ය අය පමණක් නොව භික්ෂූන්වහන්සේලා හා අන්‍යාගමික පූජකතුමන්ලාටද මෙවැනි ගෞරව සම්මාන පිරිනමන බව සඳහන් කරමින් ලිපි යවා ඇත.
මෙම ලිපි ශීර්ෂයේ සඳහන් කර ඇත්තේ ජාතික සම්මාන උළෙල 2016 යනුවෙනි.
ගරු ස්වාමීන්වහන්ස/ පූජකතුමනි/ මහත්මයාණෙනි/ මහත්මියනි, ඔබ විසින් කළාවූ කරන්නා වූ ආගමික සාමාජීය සේවාවන් අගයමින් අප ආයතනය මගින් ඔබට ගෞරව නාමයක්. ඵලකයක්, තිළිණයක් ලබාදීමට අදහස් කළ බව සතුටින් දන්වා සිටින බවත් ඒ නිසා මේ සමග එවා ඇති අයැදුම්පත්‍රය පුරවා එවීමෙන් පසු ඔබගේ සුදුසුකම් අනුව දේශබන්දු, ලංකා පුත්‍ර, දේශශක්ති, විශ්ව කීර්ති, ශ්‍රී ලංකා ජනරංජන, ශාසන කීර්ති, කලානිධි, දිරිය මාතා සහ ජ්‍යෙෂ්ඨ විශාරද ආදී ගෞරව නාම සහිත සන්නස්පත්‍රයක්ද පිරිනමන බවත් දන්වමින් මුලින්ම ලිපියක් තැපෑලෙන් ලැබීමට සලස්වති.
අයැදුම්පත් කැඳවා සියලුම කරුණු සොයා බලා සිදු කෙරෙන මෙම ජාතික සම්මාන උළෙලේදී එම ගෞරව සම්මාන පිරිනමනු ලබන්නේ ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් බවද එම ලිපියේ සඳහන් කර ඇත. සාමාන්‍ය හා ලියාපදිංචි තැපෑලෙන් එවන අයැදුම්පත් බාරගැනීම සිදු නොකරන බවත් ඊමේල් මගින් පමණක් අයදුම්පත් එවන ලෙසද මෙම ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.
විදෙස්ගතවීමේදී වීසා ලබාගැනීමට, ඔබ සමාජයේ ප්‍රභූවරයකුවීම, නිතරම සමාජ ගෞරවය ආදී ප්‍රයෝජන මෙම ගෞරව නාම ලැබීමෙන් ලැබෙන බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත. මෙම හොර උපාධි ආයතනය විසින් එවා ඇති ලිපිය මගින් ඔබ ප්‍රදේශයේ සිටින ඉතාමත්ම ගුණ යහපත් තිදෙනෙකුට මෙම අයැදුම්පත් පිටපත්කර ලබාදෙන ලෙසද කාරුණික වන ලෙස ඉල්ලීමක් කර තිබේ.
අයැදුම්පත්‍රය පුරවා එවීමෙන් පසු සම්මාන අපේක්ෂකයා නමට ලිපියක් තැපැල් මගින් ලැබෙන අතර එහි සඳහන් කර ඇත්තේ එම අයදුම්පත්‍රය අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔබ කළාවූ කරන්නාවූ නොනිමි සමාජ මෙහෙවර අගය කරමින් ගෞරව සම්මාන පිරිනැමීමට තීරණය කළ බව හද පිරි සතුටින් දැන්වීමට කැමති බවය.
සමස්ත ලංකා පදනම යන ශීර්ෂය යටතේ ඊළඟට තවත් ලිපියක් තැපැල් මගින් සම්මාන අපේක්ෂකයාට ලැබෙන අතර එම ලිපියේ දීර්ඝ විස්තරයක් සඳහන් කර තිබේ.
අප ඔබෙන් බලාපොරොත්තුවන්නේ ඉතාම දුෂ්කර පළාත්වල දෙමාපියන් අහිමිව පැවිදිවී සිටින වයස අවුරුදු 12ට අඩු පොඩි හාමුදුරුනමකට හෝ දරුවකුට ඉගෙනගන්න පහසුකම් සැපයීම පමණි යනුවෙන් සඳහන් කරමින් ආරම්භ කර ඇති එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
පොඩිහාමුදුරුවන් හා දරුවන් හම්බන්තොට, මොණරාගල, අම්පාර, පොළොන්නරුව සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් දහස් නමක් වැඩම කරන අතර දරුවන් අටසිය දෙනෙකු පමණ සහභාගිවීමට නියමිතව ඇත. එම නිසා ඔබට කැමැති පොඩිහාමුදුරුනමක් හෝ දරුවකු තෝරාගෙන ඔවුන්ගේ පෞද්ගලික විස්තර ලබාගෙන ඔබට පහසු අයුරින් පාසල් උපකරණ පරිත්‍යාග කළ හැකිය. වසරකට රුපියල් 3000ට අඩු පාසල් උපකරණ ලබාදීමට අදහස් කර ඇත. එය සාසනයේ චිරස්ථිතිය සඳහාම හේතුවනු ඇත. ඔවුන් දැනඋගත් සිල්වත් භික්ෂු හා පුරවැසියන් ලෙස සමාජගත කිරීම ජාතියේ අවශ්‍යතාවක්ව තිබේ.
ජාතික සම්මාන උළෙල අතිඋත්කර්ෂවත් ලෙස කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී පැවැත්වෙන බවත් සඳහන් කරමින් ඒ සඳහා එක් සම්මානලාභියෙක් රුපියල් 3000ක මුදලක් හෝ ඊට වැඩි ආධාර මුදලක් එවන ලෙස කියා ඉල්ලීමක් කරමින් ලිපියක් තැපැල් මගින් එවන්නේ මෙම ගුණසමරු පදනමේ අධ්‍යක්ෂගේ නමිනි. මුදල් බැර කළ යුතු බැංකු ගිණුම් අංකයක් එම ලිපියේ සඳහන් කර ඇති අතර එය ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවකට අයත් ගිණුම් අංකයකි.
රුපියල් 3000ක් පමණ වන මුදලක් නිසා සම්මානලාභීන් කිසිදු පැකිළීමකින් තොරව එම මුදල බැංකු ගිණුමට බැර කිරීමට පෙළඹෙනවා නොඅනුමානය. මෙම වංචාකාරයා මෙසේ රට පුරා දහස් ගණනක් දෙනා රවටමින් ලක්ෂ ගණනින් මුදල් සොයා ගන්නවා ඇති බව මේ සම්බන්ධව පැමිණිලි කළ සාමවිනිසුරුවරයා පෙන්වා දෙයි. සමස්ත ලංකා පදනම යනුවෙන් එවන ලිපි ශීර්ෂවල ජංගම දුරකථන අංක දෙකක් සඳහන් වන අතර දිගින් දිගටම මෙම අංකවලට ඇමතුම් ලබාගත්තත් ඒවා ක්‍රියාවිරහිත කර ඇත.
ඉදිරි දිනකදී ඔබටත් මෙවැනි සම්මානයක් පිරිනැමීමට තීරණය කර ඇති බව පවසමින් ලිපියක් ලැබීමට පුළුවන.
මෙවැනි වංචාකාරයින්ට රැවටෙන්න එපා.
ශ්‍රීනාත් ප්‍රසන්න