අපි පහුගිය දවස්වල දේශපාලන ප්‍රොජෙක්ට් එකෙන් අයින් වෙලා හිටියේ


ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

 

2023 වසර ගෙවී යමින් තිබේ.  සිදුවීම් මෙන්ම අපරාධ ද බහුල වසරක් ලෙස මෙම වසර ඉතිහාසයට එක්වනු ඇත. මේ ඒ සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සමග කළ සාකච්ඡාවකි. 


?අවුරුද්දක් අවසාන වේගෙන එනවා. මේ අවුරුද්දෙත් ජාතික ආරක්ෂාව ලොකු මාතෘකාවක්? 


පිළිතුර: ඔව්. පසුගිය අවුරුද්දේ අපි හිටියේ බොහොම සංකීර්ණ සමාජ, ආර්ථික හා දේශපාලන වටපිටාවක. මම ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් වැඩ බාර ගත්තෙත් ජනාධිපතිතුමා රට බාර ගත්තෙත් ඉතාම දුෂ්කර මොහොතක. රටේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, පිටි පෝලිම් තිබුණා.  විදුලිය කප්පාදු කිරීම් වුණා. 


එහෙම බැලුවම අපි දැන් ලොකු දුරක් ඇවිත් තියෙනවා. රට දැන් ස්ථාවරයි. ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. නීතියේ ආධිපත්‍යය බලගන්වල තියෙනවා. දේශපාලන ස්ථාවර භාවයක් ඇති කරලා තියෙනවා. 


?ජාතික ආරක්ෂාව තහවුරු කළා කියලා කිව්වත් පාතාලයන්ගේ ගිනි අවියට මුළු රටම  යටත් වෙලා තිබුණේ? 


පිළිතුර: සමාවට කාරණා මම දෙන්නේ නෑ. විශේෂයෙන්ම පසුගිය කාලයේ ඇතිවෙච්ච තත්ත්වය නිසා වෙනම රාජකාරියක් තමයි පොලිසියට කරන්න සිද්ධ වුණේ. ඒ කෙසේ වෙතත් දැන් තත්ත්වය පාලනය කර ගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් ජාතික ආරක්ෂක අමාත්‍යාංශයත් ඒකාබද්ධව  කටයුතු කරනවා. 
අපේ කාර්යභාරය තමයි පොලිසියට සහ එස්.ටී.එෆ්. එකට අවශ්‍ය සහයෝගය ලබාදීම, ඔවුන් ඔවුන්ගේ රාජකාරිය කරනවා. අපි අවශ්‍ය සහයෝගය දෙනවා. මම හිතනවා මේ වසරට වැඩිය ඉදිරි වසරේදී මේ කටයුත්තේ සාර්ථකව නියැළෙන්න පුළුවන් කියලා. 


?ආණ්ඩුව නැවතත් කොටි පුල්ලි මතු කරන්න හදනවා කියලා සමහරු චෝදනා නගනවා. යාපනෙන් පසුගියදා එහෙම සිද්ධියකුත් වාර්තා වුණා. මේවා ඇත්ත සිද්ධිද? රංගනයන්ද? 


පිළිතුර: ආණ්ඩුවට කොටි පුල්ලි මතු කරන්න කිසිම අවශ්‍යතාවක් නෑ.  ඒවා නිකම් කතා විතරයි. ඒවා සුරංගනා කතා. අපි හැම විටම ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා. ජාතික ආරක්ෂාව, නීතියේ ආධිපත්‍යය එකිනෙකට ගැටගැහිලා තියෙන තීරණාත්මක සාධක. ජාතික ආරක්ෂාව තහවුරු වෙලා නැත්නම් නීතියේ  ආධිපත්‍ය නැත්නම් ආර්ථික සංවර්ධනයක් කොහොමටවත් ලබන්න බෑ. මේ ක්ෂේත්‍ර තුනම එකට ගැටගහලා තියෙන්නේ. මේක අපි හොඳාකාරවම දන්නවා. 


යුද්ධයක් නැති වුණාට ඕනෑම රටක විවිධ තර්ජන ඇති වෙන්න පුළුවන්. අපේ රටටත් ඒ තර්ජනය තියෙනවා. ඒක බාහිරව වෙන්නත් පුළුවන්, අභ්‍යන්තරව වෙන්නත් පුළුවන්. ත්‍රස්තවාදී කොටස්, බෙදුම්වාදී කොටස්වල මතවාදය යුද්ධය ඉවර වුණා කියලා සම්පූර්ණයෙන්ම නැතිවෙලා කියලා අපට කියන්න බෑ. ඒ නිසා ආරක්ෂක  විධිවිධාන ලිහිල් කරන්න පුළුවන්කමක් ඇත්තෙත් නෑ. 


?කන්දකාඩුවෙන් සියයකට වැඩි පිරිසක් පලා ගියා. මේ පලා යන්නේ මත්ලෝලීන්. මේ තත්ත්වය සමාජයට ඉතා භයානකයි. මෙහෙම වුණේ දෙවැනි වරට. ?


පිළිතුර: ඒක තමයි එතැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 

?ප්‍රශ්නය පරිපාලනය පැත්තෙන්ද? 


පිළිතුර: ඔව්. පරිපාලනමය ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ ස්ථානය භාරව කටයුතු කරන්නේ අධිකරණ අමාත්‍යාංශය. අපි ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ කිව්වා වගේම රැඳවියන් පලා ගියේ පළමු වරට නොවෙයි. මේ දෙවැනි අවස්ථාව. මේ තත්ත්වය ගැන කිසිසේත්ම සතුටු වෙන්න බෑ. එම ස්ථානයේ හෝ වෙනත් ස්ථානයක යළිත් මෙබඳු සිදුවීම් වෙන්න ඉඩ තියන්න බෑ. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. 


?මිහින්තලා පුද බිමෙන් හමුදාව ඉවත් කරන්න ඔබ නියෝග කළා. ඇයි ඒ? 


පිළිතුර: මෙහෙමයි. ප්‍රථමයෙන්ම කියන්න ඕනෑ එතැන මිහින්තලා  පුද බිමේ ආරක්ෂාව බාරව කටයුතු කරන්නේ පොලිසිය, හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය කිසිම ආකාරයක ආරක්ෂක කටයුත්තක් සඳහා යොදවලා නෑ. එතැන නාවික හමුදාවෙන් එකසිය තුන් දෙනෙක් හිටියා. හමුදාවෙන් හතළිස් අට දෙනෙක් හිටියා. සිවිල් ආරක්ෂක බළකායේ සීයයක් හිටියා. 


?ආරක්ෂාව බාරව හිටියේ පොලිසිය නම් හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය එතැන මොනවද කළේ?


පිළිතුර: ඔවුන්  එතැන තියෙන කටයුතු කළා. ඒ වෙලාවේ මිහින්තලාවේ නායක හාමුදුරුවන් නගපු චෝදනාව ඉතාම අසාධාරණයි. සීමාව පිට පැනලා කරපු චෝදනාවක්.


?සිවිල් ඇඳුමෙන් හිටපු හමුදාවේ දෙන්නෙකුගේ හැසිරීම සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නය මතු වුණේ?


පිළිතුර: ඔව්. ඒ දෙන්නා හාමුදුරුවන්ව ඝාතනය කරන්න ආවා කියන එක බරපතළ චෝදනාවක්. 


?ඔබ දන්නා විදියට ඔවුන් දෙදෙනා ඇවිත් හිටියේ? 


පිළිතුර: ආවේක්ෂණ රාජකාරියකට. නමුත් නායක හාමුදුරුවන් නගපු බරපතළ චෝදනාව නිසා අපේ හමුදාවල  කොල්ලෝ කලකිරුණා. ඒ පරිසරය තුළ තවත් කොහොමද එතැන රාජකාරි කටයුතු කරන්නේ කියන ප්‍රශ්නය අපට මතු වුණා. ඒ තත්ත්වය තුළ අපි වෙන මොනවද කරන්නේ? අපට තිබුණ එකම විකල්පය තමයි, එතැන ආරක්ෂාව සඳහා යොදවපු නැති පිරිසක් එතැනින් ඉවත් කිරීම. 


නායක හාමුදුරුවන්ම කියනවා නම් එතැන ඉන්න හමුදා සෙබළුන්ගෙන් ආරක්ෂාවට තර්ජනයක් කියලා අපි කොහොමද තවදුරටත් ඒ ත්‍රිවිධ හමුදා සෙබළුන් ස්ථානගත කරලා තියන්නේ? 


?නායක හමුදුරුවන් නගන මරණ තර්ජන චෝදනාව ඉතාම බරපතළයි. හේතුවක් නැතිව එහෙම  චෝදනා කරයිද? 


පිළිතුර: උන්වහන්සේ එහෙම ප්‍රකාශ කිරීම ගැන මම කනගාටුවෙනවා. මුළු රටම දන්නවා මෙතැන යන්නේ දේශපාලන වැඩපිළිවෙළක් කියලා. එවැනි දෙයකට හමුදාව ගාවගන්න එක ගැන අපි සතුටු වෙන්නෙ නෑ. හමුදාවට මෙහෙම චෝදනා කරන එක සම්පූර්ණයෙන්ම වැරැදියි. 


දැන් මෙතැන ඉන්න හමුදාවත් කැමති නෑ. අපි ත්‍රිවිධ හමුදාවේ හාර පන්සියයක් යොදවපු තැනක් එක දුරකතන ඇමතුමකින් අපි එහෙම කළේ. වන්නි ආඥාපතිතුමා එහෙම සහයෝගයක් ලබා දීලා තියෙද්දී හමුදාවට  මෙහෙම චෝදනා කිරීම ගැන කොල්ලෝ බොහොම කලකිරිලා ඉන්නේ. මෙතැන මොනවාහරි ප්‍රශ්නයක් තිබුණා නම් වන්නි ආඥාපතිතුමාට, එතැන අණදෙන නිලධාරියාට, ආරක්ෂක ලේකම්තුමාට කතා කරන්න තිබුණා. එහෙම කතා කළා නම් සත්‍යය දැන ගන්න තිබුණා. 


එහෙම නැතුව අස්ථාන චෝදනාවක් මාධ්‍යයට ඇවිත් කිරීම නිසා  තමයි මේ ප්‍රශ්නය ඇති වුණේ. වගකීමෙන් අපි සියලු දෙනාම වැඩ කළ යුතුයි. මේක සංකීර්ණ කාලයක්. හැම දෙනාම ඒක තේරුම් ගන්න ඕනෑ. ඒක නිසා අකමැත්තෙන් වුණත් අපට මේ තීන්දුව ගන්න වුණා. 


? මිහින්තලාව කියන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ස්ථානය ඒ පුද බිමේ පසුගිය කාලයේ ලයිට් කැපුවා. දැන් මේ  ප්‍රශ්නය බලමු. නායක හාමුදුරුවෝ ආණ්ඩුව විවේචනය කරන නිසා මෙහෙම කරනවද? 


පිළිතුර: නෑ. නෑ. එහෙම කිසිම දෙයක්  මෙතැන නෑ. මේ වගේ සිද්ධි ඇති කරන්නෙම කවුද කියලා ඔබතුමත් කල්පනා කරලා බලන්න. මේක අපි ඇති කරපු තත්ත්වයක් නොවෙයි. මේක අනවශ්‍ය ප්‍රකාශ නිසා ඇති වෙච්ච තත්ත්වයක්. එහෙම චෝදනාවක් කළාම අප කොහොමද තවදුරටත් එතැන රැඳී ඉන්නේ. ඒ කොල්ලෝ  කොහොමද තවදුරටත් එතැන රාජකාරි කරන්නේ කියන ප්‍රශ්නය දිහා අපි බලන්න ඕනෑ. 


මෙතැන යොදවලා හිටපු හමුදා සෙබළුන්ගේ මානසිකත්වය ගැන අපි කල්පනා කරන්න ඕනෑ. හමුදාවේ ආත්මගරුත්වය ගැන අපි කල්පනා  කරන්න ඕනෑ. එයින් එහාට කිසිම ප්‍රශ්නයක් මෙතැන නෑ. ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නෑ. පොලිසිය අදටත් එතැනට අවශ්‍ය ආරක්ෂාව සුපුරුදු පරිදි  ලබා දෙමින් තියෙනවා කියලා අපිට දැනුම් දීලා තිබෙනවා. 


?ආගමික ස්ථානවලට මෙන්ම නොයෙක් ස්ථානවලට ආරක්ෂක අංශ යොදවනවා. ඒක රාජ්‍ය බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක්? 


පිළිතුර:  මෙහෙමයි. හමුදාව ඉන්නේ නිශ්චිත කාරණාවක් සඳහා. නමුත් කාලාන්තරයක් මුළුල්ලේ ඔය දේ සිද්ධ වෙනවා. මේක එක රැයින් සතියෙන් නතර කරන්න පුළුවන් දෙයක් නොවෙයි. අපි ක්‍රමානුකූලව ඒ කටයුත්තට අවතීර්ණ වෙනවා. ත්‍රිවිධ හමුදාවේ නිශ්චිත කාර්ය භාරයට  ඔවුන්ව යොමු කිරීම අපේ වැඩපිළිවෙළෙහි  ප්‍රමුඛතම කාරණාවක්. 
මේ සමාජය පුරුදු වෙච්ච ක්‍රමයක් තියෙනවා. අපි හෙමිහිට හෙමීහිට ත්‍රිවිධ හමුදාව ඒ නිශ්චිත රාජකාරිවල නිරත  කරනවා. ඒ වෙනුවෙන් වැදගත් සාධනීය පියවර රැසක් අපි දැනටමත් අරගෙන තියෙනවා. 


?ඔබ දැන් ඉන්නේ පොහොට්ටුවත් එක්කද? ජනාධිපති රනිල් එක්කද? 


පිළිතුර: පසුගිය කාලයේ ඇතිවෙච්ච සමාජ, ආර්ථික, දේශපාලන තත්ත්වයන් උඩ තරුණ දේශපාලනඥයෙක් විදියට මම තේරුම් ගත්ත දෙයක් තියෙනවා. අන්ධභක්තියක්, කිසිම දේශපාලන ව්‍යාපාරයක්  ගැනවත්, නායකයෙක් ගැනනම් මගේ නම්  නෑ. ඒ නිසා මම විවෘතව මේ ප්‍රශ්න දිහා බලනවා. ප්‍රමුඛතාව දෙන්න ඕනෑ රටේ ප්‍රශ්නවලට.   රටේ අනාගතයට අපට ගැලරි දේශපාලනය  තවදුරටත් කරන්න බෑ. එතැනින් අපි එළියට එන්න ඕන කියලා අපි තේරුම් ගන්න ඕනෑ. 


ඔය බඩු බෙදන, ෆිට් එකට රස්සා දෙන දේශපාලනය දැන් අසාර්ථකයි. බුද්ධිමත් ජනතාව ඒක ප්‍රතික්ෂේප කරනවා. අපි ඉන්නේ අලුත් රටක. අලුත් දේශපාලන වටපිටාවක. රටට හිතකර වැඩපිළිවෙළ තියෙන්නේ කොතැනද අපිට එතැන ඉන්න වෙනවා. මම නැවතත් කියනවා අන්ධභක්තියක් කිසිම පුද්ගලයෙක් ගැන හෝ කිසිම  දේශපාලන ව්‍යාපාරයක් ගැන මගේනම් නෑ.


අලුත් පරම්පරාව නියෝජනය කරන කිසිම දේශපාලනඥයකුට එහෙම අන්ධභක්තියෙන් වැඩ කරන්න බෑ. ඒ නිසා වම දකුණ එකතු කරන සියලු බලවේග එකතු කරන හොඳ පුළුල් දේශපාලන සංධානයක් හදන්න ඕනෑ. රටේ මේ තියෙන අර්බුදයෙන් රට ගොඩගන්න ඕනෑ. ඒ ස්ථාවරයේ තමයි මම ඉන්නේ.


?ඔබ බොහොම කාලයකින් නෙළුම් මාවතේ  පක්ෂ කාර්යාලයට ගිහින් නෑ. පොහොට්ටුවේ කිසිම සාකච්ඡාවකට සම්බන්ධ වෙලත් නෑ. 


පිළිතුර: ඔව්. ඒක ඇත්ත. අපි පසුගිය දවස්වල දේශපාලන ප්‍රොජෙක්ට් එකෙන් අයින් වෙලා  හිටියේ. අපි හිටියේ රට ගොඩදාන ප්‍රොජෙක්ට් එකේ. දේශපාලන රැස්වීම්වලට එන එක නොවෙයි. රට ගිනිගන්නා වෙලාවක තමයි මම මේ තනතුරු බාර  ගත්තේ. ඒ නිසා මට වැදගත් රටේ ජනතාවගේ ප්‍රශ්නයි. ඊළඟ පාර මන්ත්‍රී කෙනෙක් වෙන එක ඇමැතිවරයෙක් වෙන එකනෙමෙයි ප්‍රශ්නය. රටේ ප්‍රශ්නයි ප්‍රධාන. 


ඔබතුමා කියන එක සම්පූර්ණ ඇත්ත. මම පොහොට්ටු කාර්යාලයට ගියේ නෑ. ඉතින් අපිට සිද්ධ වුණා රට ගොඩදාන ප්‍රොජෙක්ට් එක ගොඩදාන්න. ඒකෙ අපි ඇලිලා ගැලිලා දිවා රැයේ හිටියා. පොහොට්ටුවේ දේශපාලන කටයුතු නොවෙයි. මගේ දේශපාලන කටයුතුවලත්  මම හිටියේ මන්දගාමීවයි.


?එහෙම නම් ඊළඟ මැතිවරණයේදී අපට ඔබ දකින්න වෙන්නේ එජාප වේදිකාවෙයි? 


පිළිතුර: ඔබට ඕනෑ දෙයක් හිතන්න පුළුවන්. හැබැයි අපි වම දකුණ සහ සියලු ප්‍රගතිශීලී කොටස් එකතු කරන පුළුල් සන්ධානයක්  හදන වැඩේ සක්‍රීයව ඉන්න කෙනෙක් මම. ඒක කියන්න මම භය නෑ. මම හිතනවා අපි  බෙදිලා හිටපු කාලය ඇති. රට ගිනිගන්න වෙලාවෙදිත් අපට එකතු වෙන්න බැරි වුණා. ඒක බොහොම ශෝචනීය කාරණාවක්. 
තරුණ මන්ත්‍රීවරු පිරිසක් ඉන්නවා අපි එකතු වෙන්න ඕනෑ. අපි පුළුල් බලවේගයක් හදන්න ඕනෑ කියන ස්ථාවරයේ. ඒකට විවිධ අය විවිධ නම් දෙන්න පුළුවන්. නමුත් අපි ඉන්නේ අර මම මුලින් කියපු කාරණාවේ තමයි. 

 

 

 

සාකච්ඡා කළේ 
■ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්