අපි පළාත් සභාවේ වැඩ කරන්නේ එජාප න්‍යාය පත්‍රයට නොවෙයි


 

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ දෝෂ දර්ශනයට මේ දිනවල ලක්වෙන බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රියගෙන් ඒ පිළිබඳව “මුහුණට මුහුණ” කෙරෙන කතාබහයි මේ. 


● ඉසුර දේවප්‍රිය දඟලනවා වැඩියි කියලා යූඑන්පී මන්ත්‍රීවරු කියනවා.
එක්සත් ජාතික පක්ෂයේ අය මට විරුද්ධවෙලා මොනවා කරන්නද? මම එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්ද? මමවත් ජනාධිපතිතුමාවත් එක්සත් ජාතික පක්ෂයේ නෙවෙයි.


● ඒ අය නම් කියන්නේ මහ ඇමැතිතුමාව පොඞ්ඩක් මට්ටු කරන්න ඕනෑ කියලා.
ඒ අය මොන අදහසින් ඔය කතා කියනවද කියන්න මම දන්නෙ නෑ. ඒ අය හිතනවද දන්නේ නෑ බස්නාහිර පළාතේ මහ ඇමැතිගෙ කට වහලා තියන්න. හැබැයි මගේ කට වහන්න නම් බෑ ඔය කාටවත්. මොකද පළාත් සභාවේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න මට අයිතියක් තියෙනවා. අගමැතිතුමා එක්ක මට කිසිම ප්‍රශ්නෙකුත් නෑ. එතුමටත් මාත් එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. 


● එතකොට ඉසුර දේවප්‍රිය, චම්පික රණවක එක්කද ගේම ඉල්ලන්නේ.
චම්පිකයි, ඉසුර දේවප්‍රියයි අතරත් ප්‍රශ්නයක් නෑ. ඒත් එතුමාට බස්නාහිර සංවර්ධන ඇමැතිවරයා විදියටත් මට බස්නාහිර මහ ඇමැති විදියටත් බේරගන්න ප්‍රශ්න ටිකක් තියෙනවා.


● මොනවද බේරගන්න තියෙන ප්‍රශ්න?
එදිනෙදා සංවර්ධන කටයුතු කරගෙන යද්දි මතුවෙන ගැටලු තමයි. දැන් ඔබටයි මටයි ප්‍රශ්නයක් නෑනේ. ඒත් මාධ්‍යවේදියෙක් විදියට මගෙන් ප්‍රශ්න පත්‍රයක්ම අහනවනේ. මම මහ ඇමැති විදියට ඒවට උත්තර දෙන්න ඕනෑ. මේවාත් එහෙම බේරගන්න ඕනෑ ප්‍රශ්න. කොහොම වුණත් ප්‍රශ්න ඇති නොවෙන විදියට ප්‍රශ්න විසඳගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒත් එහෙමයි කියලා මගේ කට වහන්න නම් ඔය කාටවත් බෑ. 


● යූ.එන්.පී. මන්ත්‍රීවරු අගමැතිතුමාටත් කියලා තිබුණා ඉසුරු දේවප්‍රිය පොඞ්ඩක් මට්ටු කරන්න කියලා.
අගමැතිතුමාට බෑනේ මට තරවටු කරන්න. එතුමා කොහොමද මාව මට්ටු කරන්නේ? මං ගැන බලන්න ඕනෑ ජනාධිපති තුමා. අනික මට්ටු කරන්න මොකද්ද මම කරපු වැරැද්ද. ඒ වගේම එයාල මතක තියාගන්න ඕනැ අපි පළාත් සභාවෙ වැඩ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ න්‍යය පත්‍රවලට නෙවෙයි කියන එක. අපි මොකටද එහෙම කරන්නේ? සම්මුතිවාදය තියෙන්නේ මධ්‍යම රජයට අදාළව. සම්මුතිවාදය පළාත් සභාවලට අදාළ නෑ. පළාත් සභාවේ බලය තියෙන්නේ අපිට. අපිව පාලනය කරන්න එක්සත් ජාතික පක්ෂයට බෑ.


● ඒ අයගෙ චෝදනාව තියෙන්නේ ජාතික ආණ්ඩු සංකල්පයට සම්මුතිවාදි ක්‍රමයට මහ ඇමැති බාධාවක් කියලා. ඇයි එහෙම බාධා කරන්නේ?
ඔය සම්මුතිවාදයක් ගැන කෑ ගැහුවට එහෙම එකක් නෑනේ දැන්. එක්සත් ජාතික පක්ෂයයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකඟ වෙච්ච මූලික එකඟතාවයන්වත් ඉටුවෙලා නෑනේ. එහෙම තැනක කෝ සම්මුතිවාදයක්. කවුරු මොන කතා කිව්වත් පළාත් මහ ඇමැති විදියට මම වැඩ කරන්නේ අපේ වැඩපිළිවෙළකට අනුව. අපි කාටවත් යට වෙන්නේ නෑ. අපි සිරිකොත න්‍යාය පත්‍රයට යට කරන්න ඔය කෑ ගහන අයට බෑ. 


● චම්පික රණවක ඇමැතිවරයා පළාත් සභාවේ බලතල උදුර ගෙනද?
බස්නාහිර පළාතට මෙගා පොලිස් එකක් ඇතිකළාම පළාත් සභාවේ බලතල තමයි අභියෝගයට ලක්වෙන්නේ. ඒ වගේ කාරණාවලදී කවුද කින්ද මන්ද බලන්නේ නැතුව ඕනෑ කෙනෙක් එක්ක මට හැප්පෙන්න වෙනවා. මේක පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි, රාජකාරි ප්‍රශ්නයක්.


● චම්පික ඇමැතිතුමා කියන්නේ මෙගා පොලිස් එකට පළාත් සභාවේ කිසිම බලතලයක් ගත්තේ නෑ කියලා.
එතුමා මගේ බලතල අරගෙන නෑ. මහ ඇමැති විදියට මගේ බලතල කාටවත් ගන්න දෙන්නෙත් නෑ. ඒත් අපේ පළාත් පාලන ආයතනවලට දීපු සැලසුම් අනුමත කිරීමේ බලය තමයි අරගෙන තියෙන්නේ. ඒක අපට ප්‍රශ්නයක් නෑ. ඒ අය ඒ අයගෙ “යූ. ඩී. ඇක්ට්” එක අනුව කටයුතු කරනවා. අපි අපට තියෙන බලතල අනුව කටයුතු කරනවා. හැබැයි මේ වැඩ කරද්දි ආරවුල් ඇති නොවෙන විදියට වැඩ කරන්න ඕනෑ. එහෙම නැතිවුණොත් තමයි නැති ප්‍රශ්න ඇතිවෙන්නේ.


● පළාත් සභාවේත් අවුල් නේද?
මොකක්ද අවුල? මම නම් දන්න තරමට කිසිම අවුලක් නෑ. 


● ඒකාබද්ධ විපක්ෂෙට හිතවත් මන්ත්‍රීවරු පළාත් සභාව ඇතුළෙ ස්වාධීන වෙන්න යනවා කියන්නේ. ඒක අවුලක් නෙවෙයිද?
ඒක සම්පූර්ණ බොරුවක්. සමහරු ඔය වගේ කතා පතුරුවනවා. මට නම් තාම කිසිම මන්ත්‍රීවරයෙක් කියලා නෑ ස්වාධීන වෙනවා කියලා. 


● බස්නාහිර පළාත් සභාවේ ඇමැතිවරු ඔබට “කන්ට්‍රෝල්” නැද්ද?
නෑ. එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මම ඇමැතිවරුන්ගෙ වැඩවලට අනවශ්‍ය විදියට ඇඟිලි ගහන්න යන්නෙත් නැ. මම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වගේ කෙනෙක් කාගෙවත් වැඩවලට අනවශ්‍ය විදියට බලපැම් කරන්නෙවත් ඇඟිලි ගහන්නෙවත් නෑ. මම ඒ අයට නිදහසේ වැඩ කරගෙන යන්න ඉඩ දීලා තියෙනවා. ඒකෙ හොඳ නරක දෙකම ඒ අය භාරගන්න ඕනෑ.


● ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන දැන් හයියෙන්ම කතා කරන්න බලය තියෙන්නෙ ඉසුර දේවප්‍රියලටද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන සියළු තීන්දු තීරණ ගන්නේ පක්ෂ සභාපති ඇතුළු මධ්‍යම කාරක සභාව. හැබැයි පක්ෂය වෙනුවෙන් කතා කරන්න ඕන තැනදි මම කතා කරනවා. මමත් ඇතුළුව කීප දෙනෙක් පක්ෂය ආරක්ෂා කරගෙන ඉදිරියට යන වැඩපිළිවෙළට උරදීලා ඉන්නවා. මම පෙනී ඉන්නේ පක්ෂය එක්සත් කරන්න සහ ශක්තිමත් කරන්න. එහෙම නැතුව පක්ෂය ඇතුළෙ කැපී පේන්න ඕනකමක් මට නෑ. අපි පක්ෂය වෙනුවෙන් කැපවෙලා වැඩ කරනකොට ඒකෙන් රිදෙන පිරිස් ඇති. ඒකට ඉතිං මට කරන්න දෙයක් නෑ. මම අද මහ ඇමැතිවෙලා ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා. ඒක හින්දා පක්ෂයේ හෙට දවස ගැන අපිට කැක්කුමක් තියෙනවා. පක්ෂය විනාශ වෙනවා දකින්න ඕනෑ අයට අපි හිසරදයක් වෙලා ඇති. මගේ මේ මැදිහත්වීම පක්ෂයට ආදරේ කරන අයගෙ ප්‍රශංසාවට ලක්වෙනවා. 


● ඔබ වැඩ කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයගෙ අනුදැනුම ආශිර්වාදය උඩද?
මට විතරක් නෙවෙයි, එතුමගෙ ආශිර්වාදය පක්ෂයෙ හැමෝටම එක වගේ ලබාදෙනවා. එතුමා කාටවත් තහංචි දාලා නෑ පක්ෂයේ අභිවෘද්ධියට වැඩ කරන්න. එතුමා පක්ෂය ඇතුළෙ ඒකාධිපති පාලනයක් නෙවෙයි ගෙනියන්නේ. ඒ හැමෝටම එක හැන්දෙන් තමයි එතුමා බෙදන්නේ.


● දෙකට බෙදිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කරලා ගොඩ දාගන්න පුළුවන්ද?
ඒ උත්සාහය සාර්ථකව කෙළවර වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මුණ ගැහිලා මේ ගැන කතා කළා. ඒ සාකච්ඡා සාර්ථකයි. අපි මහ ඇමැතිවරු හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා හිටපු ජනාධිපතිතුමා හමුවෙලා පක්ෂය එකතු කරන වැඩ පිළිවෙළ ගැන සාකච්ඡා කරන්න ඕන කියලා. එතුමා ඒකට කැමැත්ත පළ කළා.


● ඒ කියන්නේ හොරු දූෂිතයො කියලා අවුරුදු දෙකකට උඩදි බැණ අඬගහ ගත්තු කට්ටිය ආපහු කසාදෙකට ලෑස්තියි වගේ.
දේශපාලනයේදි සදාකාලික හතුරොවත් මිතුරොවත් නෑ කියලා කතාවක් තියෙනවනේ. ඒක නිසා මහින්ද රාජපක්ෂටයි, මෛත්‍රීපාල සිරිසේනටයි ඕන වෙලාවක මිතුරුවෙන්න පුළුවන්. 


● රෙදි ඇඳගෙන එහෙම කරන්න පුළුවන්ද?
දේශපාලනයේදි ඔය වගේ දේවල් සාමාන්‍යයයි.


● ජී.එල්. පීරිස් නම් කියන්නේ කිසිම එකතුවීමක් නෑ මහින්ද රාජපක්ෂ එක්ක වෙනම ගමනක් යනවා කියලා.
අයියෝ ජී.එල්. පීරිස්ලා කවුද අනේ? ඒ අයට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒ අයට ඕන මේ පක්ෂය දෙකට කඩලා යූඑන්පී ආණ්ඩුවක් හදන්න ඒකට තමයි ඔය කුමන්ත්‍රණය කරන්නේ. අපි ඔය කට්ටිය ගැන හොඳට දන්නවා. ඒත් අපි දන්න මහින්ද රාජපක්ෂ ඒ ලණු කාවි කියලා හිතන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්න මහින්ද රාජපක්ෂ කිසිම දෙයක් කරන එකක් නෑ.


● හැබැයි බැසිල් රාජපක්ෂත් ඉන්නවා ඔය අතරේ?
බැසිල් රාජපක්ෂලා දැන් අවලංගු මිනිස්සුනේ. මේ අය දැන් මේ රටේ මිනිස්සු පිළිගන්නේ නෑ. අපේ පරාජයට වගකියන්න ඕනෑ කවුද? බැසිල් රාජපක්ෂලා. 


● හැබැයි පහුගිය ආණ්ඩුව කාලේ ඔබලා බැසිල් රාජපක්ෂට දෙවියන්ට වගේ සළකගෙන තමයි හිටියේ දැන් චණ්ඩි කතා කිව්වට?
අපි නම් එහෙම සැළකුවෙ නෑ. අපිට එතුමා දෙවියෙක් වුණෙත් නෑ.


● හැබැයි දැන් වගේ ඒ කාලේ ශ්‍රී ලංකා එකේ කවුරුවත් බැසිල්ට විරුද්ධව කට හෙල්ලුවෙ නෑ.
අපි නම් එදත් අපේ අදහස කිව්වා. හැබැයි ඒවාට මාධ්‍යයේ ඉඩක් තිබුණෙ නෑ. අපේ වොයිස් කට් ගන්න කවුරුත් ආවෙ නෑ. පළාත් සභා මන්ත්‍රීවරු විදියට ඒ කාලෙ අපි කියපු දේවල් පත්තරේ දැම්මෙ නෑනේ. අපි එදත් අපේ ස්වාධීන අදහස කිව්වා.


● පුංචි ඡන්දෙට කොහොමද යන්නේ?
මම දන්න විදියට අපේ පක්ෂයේ කණ්ඩායම් දෙකේ ප්‍රධාන නායකයින්ට පක්ෂය කඩන්න ඕනකමක් නෑ. ඒක නිසා අපි එකතුවෙලා ඡන්දෙට යනවා. අපි බෙදිලා ගියොත් පරාජය ස්ථිරයි. 


● ඊළඟ මහ මැතිවරණය ගැන පක්ෂය සූදානමක් තියෙනවද?
අපෝ ඒකට තව කල් තියෙනවනේ. මම නම් දැන් බලන්නේ 2019 වෙනකම් පළාත් සභාව අවුලක් නැතුව අරගෙන යන්න. මේ ආණ්ඩුව කොච්චර කල් ගෙනියනවද කියලා මට වගකීමක් නෑ. ඒක ආණ්ඩුවට සම්බන්ධ අයගෙ අතේ තියෙන වැඩක්. දැනට මම පළාත් සභාව බේරගන්නයි බලන්නේ. 


● බේරගෙන යන්න බලනවා කියන්නෙ. නෑ... නෑ... කිව්වට පළාත් සභාවෙ කචල් තියෙනවා වගේ නේද? 
එහෙම ලොකු අර්බුද නෑ. මාත් එක්ක දේශපාලන කුහකකම් නිසා කවුරු හරි ප්‍රශ්න ඇතිකරගන්න එක පළාත් සභාවේ ප්‍රශ්නයක් නෙවෙයි. පළාත් සභාවේ 104 දෙනාටම මහ ඇමැති එක්ක ගැටලුවක් නෑ කියලා මම හිතන්නේ.