ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක වර්තමාන දේශපාලන මාතෘකා පිළිබඳ ඉරිදා ලංකාදීපයට මෙසේ අදහස් දැක්වීමට එක්විය.
● මේ අප්‍රේල් විරුවන් සමරන කාලේ. මේවා දැන් කරන්නං වාලේ අවුරුද්දකට වතාවක් කරන ගාණට වැටිලා වගේ...
අපි ඒක ඒ වගේ තැනකට ලඝු කරලා නෑ. 71 අරගලය ජනතා විමුක්ති පෙරමුණට විතරක් නෙවෙයි මේ රටේ ක්‍රමයට විරුද්ධව නැගී සිටින්න හිතන සියලු දෙනාට දීපු ආදර්ශයක්. ඒක වැරැද්දට අසාධාරණයට විරුද්ධව නැගී සිටින්න ඕන කියලා රටට කාවද්දපු බරපතළම අත්දැකීමක්. මේක අපේ රටේ අරගල ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක්. මේක තමයි ධනවාදයට විරුද්ධව කෙරුණු පළමු නැගිටීම. මේක රටේ ජනතාවට වගේම පක්ෂයක් විදියට ජනතා විමුක්ති පෙරමුණටත් අතිශය වැදගත්. වර්තමාන දූෂිත දේශපාලන ප්‍රවාහය හමුවේ ජවිපෙ සමත්වෙලා අදූෂිත දේශපාලනයක්
ගොඩ නඟන්න. ඒවට අපිට ආදර්ශ සපයපු එක් අවස්ථාවක් තමයි 71 අරගලය. 71 අරගලයට කැපවුණු සහෝදරයින්ගේ සටන අපිට විශාල ශක්තියක් සපයනවා අපේ ඉදිරි ගමනට. ඒක නිසා අපිට ඒක වාර්ෂික සැමරුමකට එහා ගිය කාර්යයක්.ජවිපෙ ඉඳලා ඉවත්වෙලා වෙනම දේශපාලනය කරන අය රෝහණ විජේවීර ජවිපෙ නායකයෙක් විදියට සළකන්නේ නෑ වගේ කතා කියනවා. අපි අප්‍රේල් සමරුවෙදි සමරන්නේ රෝහණ විජේවීර සහෝදරයා විතරක් නෙවෙයි. අප්‍රේල් අරගලයට වචනයකින් හෝ දායක වුණු සියලු දෙනා අපි සමරනවා. පක්ෂය ආරම්භ කළා වගේම මියයන මොහොත දක්වා පාවාදීම් කරන්නේ නැතුව පක්ෂය ඉදිරියට ගෙනාවේ රෝහණ විජේවීර සහෝදරයා. අපි රෝහණ විජේවීර සහෝදරයා සළකන්නේ අපේ පක්ෂයේ නිර්මාතෘ හැටියට. ඒ නායකත්වය අපිට නම් නොසළකා හරින්න බෑ. ජවිපෙ ඉඳලා ඉවත් වුණු අය ඔය වගේ කතා කියන එක ගැන අපි පුදුම වෙන්න ඕන නෑ. ජවිපෙ ප්‍රතිපත්ති පාවා දීලා ධනපති පක්ෂවල එල්ලුණු අය විජේවීර සහෝදරය නොසළකා හැරීම ගැන අපි පුදුම වෙන්නේ නෑ. විජේවීර සහෝදරයා වැදගත් වෙන්නේ මේ රටේ ප්‍රධාන ධනපති පක්ෂ දෙකට අභියෝග කරලා ඒවා කුඩු පට්ටම් කරන්න පොඩි මිනිස්සුන්ටත් පුළුවන් කියලා ධෛර්යය සපයපු නායකයෙක් විදියට. ජනතා විමුක්ති පෙරමුණෙන්ම පොඩි එළියක් අරගෙන මෙතනින් එළියට බැහැපු පරඬැල් වගේ අය කියන කතා අපි ගණන් ගත යුතු නෑ.
● ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට අරගෙන ආපු ආණ්ඩු විරෝධයේ එළිය අඩු වුණා වගේ නේද?
නෑ, එහෙම එකක් නෑ. ආණ්ඩු විරෝධි රැල්ල යටපත්වෙලා නෑ. ආණ්ඩු විරෝධී රැල්ලට බයවෙලා ආණ්ඩුව අඩියක් පස්සට ගියා. විශේෂයෙන් හම්බන්තොට වරාය සහ ඉඩම් පිළිබඳ ප්රශ්නයේදී අපි ආරම්භ කරපු විරෝධය නොසළකා ඉන්න ආණ්ඩුවට බැරි වුණා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණන එකට විරුද්ධවත් අපි කරපු විරෝධයටත් ආණ්ඩුව බය වුණා. ඒකයි ඒවා අකුලා ගත්තේ තාවකාලිකව හරි. අපේ සටන නිසා ආණ්ඩුව අඩිය පස්සට ගැනීමෙන් පේනවා අපේ ආණ්ඩු විරෝධයේ තරම. ආණ්ඩුව නැවත වටයකින් මේවා කරන්න හදනව නම් කලින්ටත් වඩා වැඩි ශක්තියකින් අපේ විරෝධය අපි ගොනු කරනවා. ඒ වගේම තමයි සයිටම් සටන. අද සයිටම් විරෝධය පොදුජන සටනක් බවට පත්වෙලා. ආණ්ඩු විරෝධි සටනේ ආලෝකය අඩුවෙලා නෑ. ආණ්ඩුවේ ආලෝකය නම් අඩුවෙලා වගේ අපිට පේනවා.
● සයිටම් විරෝධය පොදුජන සටනක් කිව්වට ආණ්ඩුව විරෝධතාකරුවන්ට හති වැටිලා වැඬේ නතර වෙනකම් ඉන්නවා වගේ මේක ඇද ඇද ඉන්නවා කියලයි පේන්නේ.
ඔව්, ආණ්ඩුව ඉන්නෙ ඒ වගේ තමයි. අපේ රටේ ධනේශ්වර ආණ්ඩු මේ වගේ විරෝධතාවලට ප්‍රතිචාර දක්වන විවිධ උපක්‍රම තියෙනවා. මුලින්ම ආණ්ඩුව මේක මතවාදිව බේරගන්න උත්සාහ කළා. ඒක අසාර්ථක වුණාම සයිටම් විරෝධී ව්‍යාපාරයට පහරදීලා මර්දනය කරන්න උත්සාහ කළා. මේකට විරුද්ධ වෛද්‍යවරුන්ට මඩ ගැහුවා. බොරු ප්‍රචාර ගෙනිච්චා. මේකට අධිකරණය හරහා බලපෑම් කරන්නත් උත්සාහ කළා.
ඒ ඔක්කොම අසාර්ථක වුණාට පස්සේ ආණ්ඩුව කල්පනා කරන්නේ සටන දිග්ගැස්සීම ඇතුළෙ මේක පරාජය කරන්න පුළුවන් කියලා. හැබැයි මේකෙන් අපි හති වැටෙන්නෙ නෑ. අපි මේක පරාජය කරලා තමයි නවතින්නේ.
● මහ බැංකු බැඳුම්කර සිදුවීම වගේ ඒවත් දැන් කට්ටියට අමතක වේගෙන යනවා වගේ.
මහ බැංකු බැඳුම්කර මංකොල්ලයට මේ ආණ්ඩුව පියවර නොගත්තොත් ඊළඟට එන ආණ්ඩුවකින් හෝ මේ හොරුන්ට දඬුවම් දෙනවා. ඒ ගැන සැකයක් ඇති කරගන්න එපා. මෛත්‍රී-රනිල් ආණ්ඩුවෙන් මේ කරපු හොරකමට සම්බන්ධ හොරුන්ට 2020 බලය
ගන්න ආණ්ඩුවකින් හෝ හිරගෙවල්වල යන්නම වෙනවා. මේවා කල් ඇද ඇද හිටියට හරියන්නේ නෑ. මහ බැංකුව මංකොල්ල කනවා කියන්නේ සුළුපටු හොරකමක් නෙවෙයි. ඒ හොරුන්ට බේරිල්ලක් නෑ.
● ඔබලගෙ හිටපු මිත්‍ර විමල් වීරවංශගේ මාරාන්තික උපවාසය ගැන එහෙම කතා කරන්න කැමති ද?
ඔය වීරවංශ සිරගත වෙලා ඉන්නේ වංචාවකටනේ. ඒකෙන් බේරෙන්න තමයි උපවාස කරන්නේ. ඔහුවත් ඔහු වෙනුවෙන් කතා කරන අයවත් ඔය කිරිපොවපු අයවත් ඔහු කරපු රාජ්‍ය මුදල් අවභාවිතය ප්‍රතික්ෂේප කරන්නේ නෑනේ. ඒ කිසිම කෙනෙක් කොතැනකදිවත් කියලා නෑ එහෙම වංචාවක් ඔහු කරලා නෑ කියලා. ඔහු වාහන අවභාවිතයක් කළේ නෑ කියලා මේ කවුරුවත් කියන්නේ නෑ. ඒ අය කියන්නේ බැසිල් රාජපක්ෂ වගේ ලොකු හොරෙකුට ඇප දුන්න නම් විමල් වගේ පොඩි කෙනෙකුට ඇප දෙන්නේ නැත්තෙ ඇයි කියලා. වීරවංශගේ උපවාසයට රාජපක්ෂ කල්ලියේ කිසිම සහයෝගයක් ලැබුණෙ නෑ. ඔය ඒකාබද්ධ විපක්ෂය කියන කණ්ඩායමේ අයත් මේකට විරුද්ධව කතා කළා. ඒක නිසා මේ උපවාසයත් වීරවංශගේ කලින් උපවාස වගේම විහිළුවක් වුණා. මේවායින් පේන්නේ මේ අය ජනතා විමුක්ති පෙරමුණෙන් එළියට වැටුණට පස්සෙ කොයි තරම් පරඬැල් වුණාද කියන එක.
● ජනතා විමුක්ති පෙරමුණ 2020 බලය ගන්න අරගෙන යන ඔපරේෂන් එකේ තත්ත්වය කොහොමද?
අපි ඒ වෙනුවෙන් පහුගිය කාලය පුරාම විශාල වැඩ කොටසක් කළා. මේක අපි ජාතික මට්ටමින් බිම් මට්ටමින් සහ විදේශ මට්ටමින් කරගෙන යනවා. පසුගිය වසර තුළ ජාතික මට්ටමෙන් සරසවි ආචාර්යවරුන්, කලාකරුවන් විවිධ වෘත්තිකයන්, ජ්‍යෙෂ්ඨ සිවිල් පුරවැසියන් එකතු කර ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. අද ඒක දිස්ත්‍රික් මට්ටමට ව්‍යාප්තවෙලා තියෙනවා. 2020 දී ජනතා විමුක්ති පෙරමුණට බලය ලබාගැනීම සඳහා වූ මතය මේ වනවිට රටපුරාම ව්‍යාප්ත වෙලා ඉවරයි. විදේශීය මට්ටමෙන් මේ සඳහා අපිට විශාල සහයෝගයක් දැන් ලැබෙනවා. දැන් රට පුරා ජනතාවගෙන් මේ සඳහා ඉතා හොඳ ප්‍රතිචාරයක් අපිට ලැබෙමින් පවතිනවා.
ප්‍රියන්ත කොඩි!ප්පිලි