දාසය දෙනා ආවේ විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුව රැකගන්න යම් කාර්යභාරයක් කරන්නයි


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ  විපක්ෂයේ කැඳවුම්කරු 
ප්‍රසන්න රණතුංග

ආණ්ඩුවෙන් බිඳී විපක්ෂයේ වාඩිලා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමැතිවරුන් දහසය දෙනා සම්බන්ධයෙන් ද ඒකාබද්ධ විපක්ෂයේ මත ගැටුම් පුපුරා යමින් තිබේ. මේ ඒ සම්බන්ධයෙන් හා උණුසුම් දේශපාලන කාරණා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා සමග කළ සාකච්ඡාවකි. 


• ප්‍රශ්නය:- රටේ අලුත් දේශපාලන පෙළගැසීම් ඔබ විග්‍රහ කරන්නේ කොහොමද? 


පිළිතුර:- මේ රට බලන් ඉද්දී කඩන් වැටෙන රටක් බවට පත්වෙලා තියෙනවා. රටේ ආර්ථිකය කඩා වැටිලා. රටේ කෘෂිකර්මාන්තය කඩන් වැටිලා. රටේ සමාජ තත්ත්වය කඩා වැටිලා. මේ රට අරාජික වෙලා. ඒ වගේම අපි දකිනවා මේ දේශපාලනඥයෝ අවස්ථාවා දී හා අන්තවාදී විදියට තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගන්න රට බෙදන්න. මිනිස්සු අතර ප්‍රශ්න ඇති කරන්න කටයුතු කරනවා. 


• ප්‍රශ්නය:- ඔබ කාටද මේ චෝදනා කරන්නේ? 


පිළිතුර:- අපි දකිනවනේ ජාතිවාදය අවුස්සමින් ඒ හරහා බලය රැකගන්න මේ ආණ්ඩුව විශාල උත්සාහයක නියැළෙනවා. ආණ්ඩුවේ ඇමැතිවරුම මේ අන්තවාදය අවුස්සන්න පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ කටයුතු කරපු හැටි අපි දැක්කා. මුස්ලිම් ජනතාවට පහර දීලා ඒක මහින්ද මහත්තයාගේ ඇඟේ ගහන්න ලොකු උත්සාහයක් ගත්තා. නමුත් මේ ආණ්ඩුවේම නායකයෝ තමයි ඒවයේ පිටිපස්සේ හිටියේ. පළාත් පාලන මැතිවරණයේ අපේ ජයග්‍රහණය අපට භුක්ති විඳීමට ඉඩ දෙන්නේ නැතිව අපේ ඇඟේ විශාල ප්‍රශ්නයක් ගහන්න හැදුවා. ඒ නිසාම අපි නුගේගොඩ රැස්වීමක් අවලංගු කළා. එහෙම අවලංගු කළේ රටේ තිබුණ තත්ත්වය තුළ යම් හෙයකින් එදා මුස්ලිම් සහෝදරයකුගේ කඩේකට හරි ප්‍රශ්නයක් වුණා නම් ඒක අපේ පිටින් යවන්න ඔවුන්ගේ සැලැස්මක් තිබුණා. ඒ නිසා අපි ඒ රැස්වීම නැවැත්තුවා. මේ අය රටේ මාතෘකා වෙමින් රට ගෙනියනවා මිසක් රටට කිසිම හොඳක් කරලා නැහැ. 


• ප්‍රශ්නය:- ‘අපි විශ්වාසභංගයක් ගේනවා. අගමැති ගෙදර යවනවා.’ කියලා ඒකාබද්ධ විපක්ෂය විශාල වශයෙන් පාරම් බෑවා. නමුත් අන්තිමට පුස්ස බින්දා වගෙයි. 


පිළිතුර:- නෑ අපි ගොඩක් දේවල් ඒ හරහා කරගත්තා. අපිට මේ විශ්වාසභංගය ගේන්න ප්‍රධානම හේතුව වුණේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලයත් එක්ක එක්සත් ජාතික පක්ෂය බෙදුණා. ගමේ ඉන්න යූඑන්පී පාක්ෂිකයාට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කෙරෙහි පැවැති විශ්වාසය නැති වුණා. ඇමැතිවරුන් ගැන මන්ත්‍රීවරුන් ගැන විශ්වාසය නැති වුණා. ඔවුන් තමන්​ෙග් කොට්ඨාස​ෙය් ඉන්න මහජන නියෝජිතයන්ට බලපෑම් කරන කොට ඔවුන්ට සිදුවුණා පක්ෂයේ නායකයට ඒ බලපෑම කරන්න. ඒ නිසා තමයි යූඑන්පිය තුළ ප්‍රතිසංවිධාන කියලා මොකක් හරි කරන්න. තීන්දුවක් හරි ගත්තේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔය මෛත්‍රී මහත්තයාත් එක්ක හිටපු කණ්ඩායම පරාජයට හේතුව එක්සත් ජාතික පක්ෂය කියලා. පරාජයේ වගකීම ඒ පැත්තට දැම්මා. ඒ නිසා ඒ පක්ෂ දෙක ඇතුළේ ප්‍රශ්න ඇති වුණා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනෙක් ඇමැතිකම් අතහැරල එළියට ආවා. දැන් තමයි අර්බුදය පුපුරා යාමේ අවස්ථාව නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න අපට පුළුවන් කියන විශ්වාසය ගොඩ නැගුණා. ඒ නිසා පොහොට්ටුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගම් මට්ටමේ සංවිධාන කටයුතු නව වටයකින් ආරම්භ කරනවා. 


• ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇමැතිකම් අතහැරලා එළියට ආපු 16 දෙනා සාදරයෙන් පිළිගන්න ඔබ සූදානම් ? 


පිළිතුර:- මෙහෙමයි. ඔවුන් මේ වෙනකම් මම දකින්නේ ආණ්ඩුව රැක ගැනීම සඳහා විපක්ෂයේ ඉඳගෙන යම් කාර්යයක් කරන්න ආපු කණ්ඩායමක් හැටියටයි. 


• ප්‍රශ්නය:- ඒ කියන්නේ ආණ්ඩුවේම කණ්ඩායමක් ? 


පිළිතුර:- ඔව් මෙහෙමනේ. දෙමළ සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඒ කාර්ය භාරය මෙතෙක් කල් ඉතාම හොඳින් කළා. ඔවුන්ට සහයෝගය දෙන්න මේ දහසය දෙනාත් දැන් කටයුතු කරනවා. 


• ප්‍රශ්නය:- ඔවුන් ඇමැතිකම් දාලා එළියට ආවා. 


පිළිතුර:- ඒ වුණත් මම කියන දේ තමයි විපක්ෂයේ වාඩිවෙලා වැඩක් නෑ. මහින්ද මහත්තයාගේ නායකත්වය පිළි අරගෙන පොහොට්ටුවත් එක්ක එක්කහු වෙලා ආණ්ඩුව පෙරළන වැඩපිළිවෙළකට එන්න කියලයි. ඔවුන්ට පුළුවන් ඕනෑ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම කණ්ඩායමක් හැටියට හරි පොහොට්ටුවට එක්කහු වෙන්න. පොහොට්ටුව එක්ක එකතු වෙලා මේ ආණ්ඩුව පෙරළලා අපේම ආණ්ඩුවක් පිහිටුවන්න ඔවුන් එන්න ඕනෑ. එහෙම නැතිව බොරුවට මේ පැත්තට ඇවිල්ලා විපක්ෂයේ වාඩි වුණා කියලා වැඩක් නෑ. මැයි දිනයට මඩකළපු ගිහින් ඇවිල්ලා මොනවද මේ කරන්නේ? මේ දේශපාලනය ජනතාව ඉතාම හොඳට තේරුම් අරගෙන තියෙනවා. අපි ගම්වලට ගියාම ඒ අයට විරුද්ධව ලොකු මතවාදයක් තියෙනවා. මේ අය මේ බොරුවක් කරන්නේ. මේ අයව ගන්න එපා.’ කියලා ජනතාව කියනවා. 


• ප්‍රශ්නය:- ඒ දහසය දෙනා ඒකාබද්ධයට ගන්නවාට ඒකාබද්ධයේම පිරිසක් විරුද්ධයි නේ ද? 


පිළිතුර:- පාර්ලිමේන්තුව තුළ ඒ අය වාඩිවෙන්න ඕනෑ ඒකාබද්ධය තුළයි. අර නිල හා හීලෑ විපක්ෂයේ නොවෙයි. නමුත් එක වෙලාවක ඔවුන්ගේම කටවල්වලින් කියනවා ‘අපි තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අපේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. එතුමත් එක්ක සාකච්ඡා කරල තමයි අපි තීන්දු තීරණ ගන්නේ.’ කියලා. නමුත් අපට පූර්වාදර්ශ තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ ආණ්ඩුව රැක​ගන්න අගමැතිවරයා ආරක්ෂා කරන්න ලොකු උත්සාහයක ඉන්නේ. රටට පෙන්වන්න හැදුවට ඔහු එතැන නැහැ කියලා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ආරක්ෂා කරන්න ජනාධිපතිවරයා කටයුතු කළා ද? ඒක ඔහු කළ යුතු දෙයක්. ජනාධිපතිවරණයේ දී ඔහු ජනාධිපති වුණේ රනිල් වික්‍රමසිංහ නිසයි. 


• ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ මේ දහසය දෙනා එනවට අකමැති පිරිසක් ඒකාබද්ධයේත් ඉන්නවා නේද කියලයි.? 


පිළිතුර:- අකමැති නොවෙයි. අපේ අය කියන්නේ සෘජුවම පොහොට්ටුවත් එක්ක ඇවිත් හිටගන්න කියන යෝජනාවයි කරන්නේ. එහෙම එනවා නම් අපි සාදරයෙන් පිළිගන්නවා. නමුත් බොරු කරනවට අපි ඒකට විරුද්ධයි. මේ කරන්නේ බොරුවක් කියලා පොඩි මතයක් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර තියෙනවා. 


• ප්‍රශ්නය:- නමුත් මන්ත්‍රී විමල් වීරවංශ කියන්නේ එන එකා මොකා වුණත් සාදරයෙන් පිළිගත යුතුයි’ කියලයි. 


පිළිතුර:- නෑ. එක එක කණ්ඩායම්වල එක එක මත තියෙනවා. අපිත් කැමැතියි පාර්ලිමේන්තුවේ තුනේ දෙකේ බලය ආණ්ඩුවට නැති කරන්න. අපි ඒකට උත්සාහ කරන්න ඕනෑ. නමුත් මේ අය ඇවිල්ල ඒ සහයෝගය කෙළින්ම අපට දෙන්නේ නැත්නම්. එයාලගෙ පක්ෂයේ නායකයා මෛත්‍රී කියලා එයාගෙන් අහලා නම් තීන්දු තීරණ ගන්නේ ඒ එන එකෙන් වැඩක් නෑ. විශ්වාසභංගයේ දී තුනෙන් දෙක නැති වුණේ ඒ ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීපු නිසා. නමුත් ඉදිරියේ දී ජනතා විමුක්ති පෙරමුණ එහෙම කරන එකක් නෑ. ඔවුන් ආණ්ඩුව රැක ගැනීමට ඉන්න කණ්ඩායමක් නිසා තීරණාත්මක අවස්ථාවක දී ආණ්ඩුව රැකගන්න ඉදිරිපත්​ වෙනවා. ඒක ස්ථීරයි. ඒ විදියට නම් ඒගොල්ලේ කටයුතු කරන්නේ ඒකේ වැදගත් කමක් අපිට ඇති වෙන්නේ නෑ. 


• ප්‍රශ්නය:- හිටපු ඇමැති ජෝන් සෙනෙවිරත්න ඉරිදා ලංකාදීපයට කිව්වේ ‘අපි ආවම තමන්ගේ තැන නැතිවෙයි කියලා බයෙන් ඉන්න අය අපි එනවට කැමැති නෑ.’ කියලයි. 


පිළිතුර:- මෙතැන තැන් නැති වෙන්නේ නෑ. ජනතාව අතේනේ ඡන්දය තියෙන්නේ. ජනතාව නියම දවසට තීන්දු කරයි ඒ අය ආපු එක හොඳ ද නරක ද කියලා. ඒ නිසා කාගෙවත් තැන් නැති වෙන්නේ නැහැනේ. මෙතෙක් කටයුතු කරපු අපි කැපවීම් කරන්න ලෑස්තියි. මෙතෙක් කල් ආණ්ඩුවේ ඉඳලා ආණ්ඩුවේ සියලු වරප්‍රසාද ලබමින් හැම පනතකටම අත උස්සලා අයවැයට අත උස්සලා රට යන අත දිහා බලලා තමන්ට පැවැත්මක් නෑ කියලා හිතෙන කොට ඔවුන් කල්පනා කළා විශ්වාසභංගයේ ඉල්ලිලා එන්න. ඒ අයට කැප කිරීමක් තිබුණා නම් මීට කලින්නේ අපිත් එක්ක එකතු වෙන්න තිබුණේ. ඔවුන් තනතුරුවල ඉඳලා ඒවා ඔක්කොම භුක්ති විඳලා දැන් ආවම මෙච්චර කාලයක් අපිත් එක්ක හිටපු අයට කිසිම හානියක් වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ. පොහොට්ටුව ජයග්‍රහණය කරවන්න. ජ්‍යෙෂ්ඨයෝ මහින්ද මහත්තයාව අතහැරලා යනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමාව ආරක්ෂා කළේ පළාත් සභා පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු. ඒ අය තමයි මහින්ද මහත්තයාව රැක්කේ. ඒ නිසා මේ අය එනවා කියලා ඒ අයට හානියක් වෙනව නම් අපි ඒකට කැමැතිත් නෑ. මම පෞද්ගලිකව ඒකට විරුද්ධයි. එදා නුගේගොඩ රැස්වීමට ගොඩවෙච්ච කණ්ඩායමක් ඉන්නවා. 


• ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම ශ්‍රී ලංකා එකට කිව්වේ ‘ආණ්ඩුවෙන් එළියට එන්න.’ කියලයි. ඉතින් දහසය දෙනෙක් හරි ආවම ඇයි ඔහොම කතා කරන්නේ? 


පිළිතුර:- ඔව් අපි කියන්නේ එන්න කියලා තමයි. අදත් කියන්නේ එන්න කියලා තමයි. එන්නේ නැති එකනේ වැරැද්ද? ඔවුන් දැන් ඇවිත් කියන්නේ ‘අපි තාම ශ්‍රී ලංකා අපේ නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. ඉතින් ඒ විදියට කතා කරනකොට අපිත් එක්ක ආවා කියලා අපි පිළිගන්නේ නෑ. අපි කියන්නේ බය නැතිව එළියට ඇවිල්ලා ‘අපි ඉන්නේ මහින්ද මහත්තයාගේ නායකත්වය යටතේ ඒකාබද්ධ විපක්ෂයත් එක්ක. ඉදිරියේ දී අපි පොහොට්ටුවත් එක්ක එකතුවෙලා ආණ්ඩුව එළවලා ආණ්ඩුවක් හදන්න මහින්ද මහත්තයත් එක්ක කටයුතු කරනවා’ කියලා. එහෙනම් අපි සාදරයෙන් පිළිගන්නවා. එහෙම කියන්නේ නැතිව අරහෙම කිය කියා එන ඒ අය පිළිගන්න අපි ලෑස්ති නෑ. ඒ අය කෙළින් තීරණය ගත යුතුයි. 


• ප්‍රශ්නය:- ඔබේ පිළිතුර හරහා පේන්නේ මේ දහසය දෙනා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ බරපතළ බෙදීමක් තියෙන බවයි. 


පිළිතුර:- කිසිම බෙදීමක් නැහැ. අද ඒකාබද්ධ විපක්ෂය මහින්ද මහත්තයාගේ නායකත්වය යටතේ අපේ මොන මතවාද තිබුණත් මහින්ද මහත්තයා ගන්න අවසාන තීන්දුවත් එක්ක අපි මහින්ද මහත්තයා එක්ක හිටගන්නවා. එච්චරයි. අපේ ඒකාබද්ධ විපක්ෂයේ සියලුම දෙනා ඉන්නේ ඒ ස්ථාවරයේ. මතවාදී වෙනස්කම් තිබුණත් අපි අවසන් සටනේදී ඉන්නේ එකට. 


• ප්‍රශ්නය:- නමුත් අර්බුදය පුපුරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙනුයි. ඔබ කියන්නේ ගෝඨාව ගේන්න ඕනෑ කියල ද? බැසිල්ව ගේන්න ඕනෑ කියලද? 


පිළිතුර:- ඒ කතාව වැරදියි. ඔය එක එක්කෙනා කියන තමන්ගේ පෞද්ගලික මත. අපි දැක්කා වාසුදේව නානායක්කාර මැතිතුමා කියනවා චමල් රාජපක්ෂ හොඳයි කියලා. විමල් වීරවංශ මහත්තයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව යෝජනා කරලා තිබුණා. ඕවා එක එක්කෙනාගේ මත. 


• ප්‍රශ්නය:- මම අහන්නේ ඔබේ මතය ගැනයි? 


පිළිතුර:- මම කියන්නේ ජනාධිපතිවරණයේ දී අපි සහයෝගය දෙන්නේ මහින්ද මහත්තයා යෝජනා කරන කෙනාට. එදාට කවුරු යෝජනා කළත් අපේ කණ්ඩායමේ සියලුම දෙනා එයාට සහයොගය දෙනවා. 


• ප්‍රශ්නය:- නමුත් මම යෝජනා කළොත් ඔබේ වැඩිම ළබැඳියාව තියෙන්නේ බැසිල් රාජපක්ෂටයි කියලා? 


පිළිතුර:- බැසිල් රාජපක්ෂ මහත්තයා කියලා නොවෙයි. මම චමල් ඇමැතිතුමාටත් කැමැතියි. ගෝඨාභය මහත්තයාටත් කැමැතියි. බැසිල් මහත්තයාටත් කැමැතියි. හැබැයි ඔය හැමෝටම වඩා මම නායකයෙක් හැටියට වඩාත් කැමැති මම පළාත් සභාවෙන් එළියට බැස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන්. නැතිව ඔය අනිත් කිසිම කෙනෙක් නිසා නොවෙයි. ඒ නිසා මගේ ළබැඳියාව තියෙන්නේ මහින්ද මහත්තයාට විතරයි. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටට කරපු සේවය, යුද්ධය අවසන් කරලා අපේ දරුවන්ට නිදහසේ ජීවත්වෙන්න පරිසරයක් නිර්මාණය කරපු ඒ ආඩම්බරය අපට තියෙනවා. එතුමා රැකගන්න ඕනෑ කියන තැන මම ඉන්නේ ඒ නිසා. ඔය රාජපක්ෂලා හැමෝමත් එක්කලා මම හිතවත්. ඔය හැමෝමත් එක්කම මගේ දේශපාලන මතය කියන කෙනෙක් මම. මහින්ද රාජපක්ෂ මහත්තයාට ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙන්න බැරි වුණොත් යම් හෙයකින්.... 


• ප්‍රශ්නය:- මම ඔබට බාධා කරනවා. ‘යම් හෙයකින්’ කියන්නේ ඇයි? මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වෙන්න නීතියෙන් බෑ.? 


පිළිතුර:- අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරණය එන්න කලින් ආණ්ඩුව වෙනස් කරලා මහින්ද මහත්තයාව ගේන්න පුළුවන් ද කියලා බලනවා. 


• ප්‍රශ්නය:- එහෙම බැරි වුණොත්? 


පිළිතුර:- ඔව්. එහෙම බැරි වුණොත් මහින්ද රාජපක්ෂ මහත්තයා එදාට අපිට කියයි ‘මෙන්න මගේ අපේක්ෂකයා. මෙයාව ජයග්‍රහණය කරවන්න’ කියලා. එදාට අපි මහින්ද මහත්තයා දිනවන්න කරපු කැපවීමම කරලා ඔහු දිනවනවා. 


• ප්‍රශ්නය:- මන්ත්‍රී කුමාර වෙල්ගම නම් ඉරිදා ලංකාදීපයට කිව්වේ ‘ජනාධිපති අපේක්ෂත්වය එක පවුලකට සීමා කරන්න අවශ්‍ය නෑ. දක්ෂයකුට ඉදිරියට එන්න අවස්ථාවක් ලබා දිය යුතුයි.’ කියලයි. 


පිළිතුර:- ඔව්. ඒක එහෙම වෙන්නත් පුළුවන්. මහින්ද මහත්තයාම මම දැක්කා මාධ්‍යයට කියනවා රාජපක්ෂලාම නොවෙයි වෙන කෙනෙක් එන්නත් පුළුවන්’ කියලා. එතුමන්ලට එහෙම එකක් නෑ. පක්ෂය ඇතුළේ අර්බුද හදන්න ඕනෑ අයට තමයි ඔය ප්‍රශ්නය වැඩියෙන්ම දැනෙන්නේ. නමුත් මේ රටේ ජනතාව දන්නවා මහින්ද මහත්තයා වඩාත් නිවැරදිම තීන්දුව ගනී කියලා. 

 

අද ඒකාබද්ධ විපක්ෂය මහින්ද මහත්තයාගේ නායකත්වය යටතේ අපේ මොන මතවාද තිබුණත් මහින්ද මහත්තයා ගන්න අවසාන තීන්දුවත් එක්ක අපි මහින්ද මහත්තයා එක්ක හිටගන්නවා. එච්චරයි. අපේ ඒකාබද්ධ විපක්ෂයේ සියලුම දෙනා ඉන්නේ ඒ ස්ථාවරයේ. මතවාදී වෙනස්කම් තිබුණත් අපි අවසන් සටනේදී ඉන්නේ එකට


• ප්‍රශ්නය:- ඔය ප්‍රශ්නය මතුවෙන්නේ නෑ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ජවිපෙ සටනට සපෝට් කළා නම්. 


පිළිතුර:- ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විතරක්. ඕක 20 වැනි සංශොධනය නොවෙයිනේ. ඕකට තව ගොඩාක් දේවල් වෙන්න තියෙනවා. මේකත් ආණ්ඩුවේම තවත් යෝජනාවක් වෙන්න පුළුවන්. සමහර විට ජනතා විමුක්ති පෙරමුණ මේ යෝජනාව ගේන්නේ අපි විරුද්ධ වෙයි කියලා හිතලත් වෙන්න පුළුවන්. මොකද ඔවුන්ට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඔවුන් යෝජනාව ගෙනාවම අපි විරුද්ධ වුණාම ඒ අයට කියන්න පුළුවන් අපි විරුද්ධ වුණ නිසා කරගන්න බැරි වුණා කියලා. මොකද මේ අයටත් විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයි. ඒ නිසා ඕවට අපි කලබල වෙන්නේ නෑ. 


• ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රීගෙ කාර්ය මණ්ඩල ප්‍රධානි හා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය කාලේ ඇයගේ කාර්ය මණ්ඩල ප්‍රධානි වශයෙන් සිටි පුද්ගලයා කෝටි 2 ක අල්ලස් ගනිද්දී අත්අඩංගුවට ගැනීම ඒකාබද්ධ විපක්ෂයට ‘මාර ත්‍රිල්’ එක්ක? 


පිළිතුර:- ත්‍රිල් එකක් නොවෙයි, කනගාටුවක් තියෙන්නේ. යහපාලනය ගේන්න කැපවුණ මෛත්‍රීපාල මහත්තයා, චන්ද්‍රිකා නෝනා කතා කළේ නිකම් බෝධිසත්වයෝ වගේ. දැන් ඔය මේ යකඩ ටිකක් විකුණන්න ගත්ත මුදල. එතකොට ජාතික සම්පත් විකුණන කොට කොයි තරම් අල්ලස්, කොයි තරම් කොමිස් කුට්ටි මේ නායකයෝ එකතුවෙලා ගන්න ඇද්ද? කාටද මේ සල්ලි යන්නේ? ඒවා ගැන හිතන කොටනම් පොඩි කනගාටුවක් ඇතිවෙනවා. මෙච්චර මේ ලොකු උවමනාවකින් ජාතික සම්පත් විකුණන්නේ ඇයි කියලා දැන් තේරෙනවනේ. හම්බන්තොට වරාය විකුණන කොට මොනවා වෙලාද කිලා දැන් හිතාගන්න බෑ. ඔය මුදල් හැමෝගෙම අතට පත්වෙනවා. ඔහොම අල්ලස් ගනිද්දී අද මාට්ටු වෙන්නේ ආණ්ඩුව තුළ තියෙන අර්බුදය තුළ එක පැත්තකින් හොරකම් කරනකොට අනික් පැත්තෙන් අල්ලලා දෙනවා. අගමැතිගේ පාර්ශ්වයෙන් බැඳුම්කරය වුණාම ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් අල්ලලා දුන්නා. ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මේ හොරකම වෙනකොට අගමැතිවරයා මේක මාට්ටු කරලා දෙනවා. 


• ප්‍රශ්නය:- නමුත් පහුගිය මහින්ද රාජපක්ෂ යුගයේ මෙහෙම වැටලීමක්වත් වුණේ නැහැ. 


පිළිතුර:- එහෙම චෝදනාවක් ආවම ක්‍රියාත්මක වෙන්න ඕනෑ ආණ්ඩුව නොවෙයි. පොලිසියෙන්. 


• ප්‍රශ්නය:- නමුත් පොලිසියට ස්වාධීනව කටයුතු කරන්න ඒ ආණ්ඩුව කාලේ ඉඩ දුන්නේ නෑ. 


පිළිතුර:- එහෙම නෑ. සමහර ඔය ​ෙහාරකම් කරපු අයට අහුනොවන්න හොරකම් කරන්න දක්ෂතාවක් තියෙන්න ඇති. ඒ නිසා බේරෙන්න ඇති. මම කියන්නේ නෑ ඒ කාලේ හිටපු හැමෝම පිරිසිදුයි කියලා. නමුත් හැම දෙයකින්ම ඔප්පු වෙන්නේ ඊට වඩා හොරු තමයි මේ ආණ්ඩුවේ ඉන්නේ කියලයි.

 

 

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්