දේශපාලන ලොව හැමදාමත් උණුසුම්ය. මෙරට දේශපාලනය ඊට නොදෙවෙනිය.
දේශපාලනය කොතෙක් උණුසුම්ද කිවහොත් අද නගරයේ මග තොටේ දුම්රියේ බස්රියේ මෙන්ම කාර්යාලයේ බොහෝ දෙනකුගේ මාතෘකාවලින් මුල් තැනක් ගන්නේද උණුසුම්වන දේශපාලනයයි.
දේශපාලනයේ මෙන්ම රට තුළ නිබඳව වෙනස්වන තතු විත්ති පිළිබඳව නගරවැසියා බොහෝ උනන්දුවෙන් පසුවුවද එදා වේල හොයාගෙන ඇළෙන් දොළෙන් වතුර ටිකක් නාගෙන රාත්‍රී හත අට වෙන විට නින්දට යන ගැමියාට ඒ ගැන උනන්දුවක් නැති තරම්ය.
වත්මන් දේශපාලනය උණුසුම්වන කරුණු කාරණා තමුන්ට දැනෙන්නේ කෙසේදැයි අපි බදුල්ලේ හද්දා පිටිසර ගම්මානයක් වන මීගහකිවුල මකුල්ගොල්ලේ අලුත්ගෙදර ආර්. එම්. ගුණරත්න හෙවත් කවුරුත් දන්නා ලී ඉරන පිටමාරුවේ මාමාගෙන් විමසුවෙමු.
වයස අවුරුදු හතේදී පමණ තම සීයාගෙන් ගස් ඉරන්නට අත්පොත් තැබූ පිටමාරුවේ මාමා වයස අවුරුදු 77 ක් වෙද්දී අදටත් එම රස්සාවේම නියැළෙයි.
හෙතෙම නාගරික සමාජය ගැන ලොකු අවබෝධයක් නැතත් රටට සංවේදී බොහෝ කරුණු කාරණා ගැන අපූරු මතිමතාන්තර දරන්නෙකි. අපි ඔහු සමග කතා කළෙමු.
●මාම කොහොමද මේ දවස්වල?
ආය මොකද? හාල් සීයයි. බඩු මුට්ටු ගණන්. අනිත් එව්වත් ඒ වගේ. දැන් වැස්සත් නෑ, කුඹුරුත් ඉවරයි. මැෂින්වලින් ලී ඉරන නිසා දැන් ඉතින් වයසක අපිට වැඩත් අඩුයි. අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ.
●මොකෝ මේ දවස්වල රටේ තත්ත්වේ?
රටේ තත්ත්වේ ගැන මහත්තයල තමයි කියන්න ඕනි. අපි ඉතින් කොහොමද ඒව දන්නේ. හවස් වෙනකම් වැඩ කරල ඇවිත් වතුර ටිකක් නාල නිදාගන්නව මිසක්.
●ඇයි ප්රවෘත්ති එහෙම බලන්නේ නැද්ද?
ඕව බල බලා ඉන්න අපට වෙලාවක් නැහැ. අනෙක ඕව බලල මොනවද ලැබෙන්නේ? එක කට්ටියක් අරුන්ට බණිනව. තව කට්ටියක් උන්ට බණිනව. තව කට්ටියක් දෙගොල්ලටම බණිනවා........ (මහ හඬින් සිනහ වෙයි) එව්ව බලනවට වඩා හොඳයි මොනා හරි කාල බුදියගන්න එක.
●ඒකාබද්ධ විපක්ෂය ගැන මොකද කියන්නේ.
මොනා කියන්නද? දෙපැත්තම එකයිනේ. අර පැත්තට කියන්නත් බෑ. මේ පැත්තට කියන්නත් බැහැ. අර පැත්තෙන් නම් මොකක් හරි සහනයක් තිබ්බනේ. දැන්නේ මේ මොනවවත් නැත්තේ. පෝර ටිකක් ගන්න නැහැ. බෙහෙත් ටිකක් ගන්න නැහැ. කිසිම දෙයක් නැහැනේ.
●අතුරැලියේ රතන හාමුදුරුවෝ ආණ්ඩුවෙන් ඉවත් උනානේ. ඒ ගැන දන්නවද?
රතන හාමුදුරුවෝ ගියා? දන්නේ නෑනේ.
●පහුගිය ආණ්ඩුවේ හොරු අල්ලනව කියනවනේ. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ.
අල්ලන්නේ නෑනේ. මම මොනා කියන්නද? ඔය මහත්තය කල්පනා කරල දාන්න. මම ආයෙ හොරු අල්ලන්න යනව නෙමෙයිනේ.
●නැහැ නැහැ මාමට හිතෙන දේ මම අහන්නේ?
කොයිද? ඉතින් අල්ලනව කීවට තාම නෑනේ. අල්ලගත්ත එකත් නිදහස් කරනව. ඒක ඉතින් ආණ්ඩුවේ වැඩක්.
●සමලිංගික සේවනය නීති ගත කරන්න යනවලු නේද?
මහත්තය ඕකට තමයි කියන්නේ අනේ කාලේ වනේ වාසේ කියල. දැන් අපේ රටට අඩු ඕක විතරයි. මොනාද මහත්තය මේ කතා?
●මහින්ද මහත්තය ආයිත් ඡන්දේ ඉල්ලන්න යනවලු නේද?
මෙහෙමනේ. අපි කතාවට කියමුකො අපි යූඇන්පී කියල. දැන් යූඇන්පී එකත් හොඳයි. මහින්ද මහත්තයත් හොඳයි. දැන් මේ තියෙන අඩුපාඩු නිසානේ කිසි පැත්තකට කතා කරන්න බැරි.
එයාට අපි ගෙදර ඉන්න කියනනෙත් නැහැ. එන්න කියන්නෙත් නැහැ. කවුරු ඇවිල්ල හරි අපිට පෝර ටික බඩු ටික අඩුවට දීල දුප්පත් මිනිහට උදව් කරනව නම් ඒ ඇති.
●ඒ කියන්නේ?
සන්ධාන ආණ්ඩුවෙන් අපිට සහන තිබ්බ. දැන් මොකවත් නැහැනේ.
●ඒ කියන්නේ මහින්ද මහත්තය ආයෙ ආණ්ඩුවක් හැදුවොත් හොඳයිද?
අපිට කවුරු හරි කමක් නැහැ සහන දෙනව නම් හොඳයි.
●පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හිටපු ගමන් ගහ බැණ ගන්නවනේ?
ඒක හොඳ නැහැ. ගහ බැණ ගන්නේ නැතුන් රජයක් විදිහට තමන්ගේ රස්සාව කරගෙන ඉඳීම ආඩම්බරයක්. කව්රුත් රස්සාව කළ යුතුයි.
●රට යන විදිහට ගියොත් මොකද වෙන්නේ?
මම ඉතින් මොනා කියන්නද?
●කලින් රට කරලා පැරදුණු අය නැවතත් බලය ඉල්ලගෙන එනව. දේශපාලනය කතා කරනව. මොකද හිතෙන්නේ.
ඒ ආවත් මීට වඩා අන්ත වෙනව. එයාල ණය වෙච්ච තමයි දැන් ගෙවන්නේ. කොල්ලන්ට දැන් තැන දෙන්න ඕනැ.
●උතුරේ මහ ඇමැති ඒ අයගේ ඉල්ලීම් දිනා ගන්න හදනව? සමහරු රට බෙදිය යුතුයි කියනව.
එක එක අයට ටික ටික දෙන්න බැහැ. එක රජයක් තියෙන්න ඕනැ.
●දකුණේ අයත් කියනව රට බෙදන්න යනව කියල?
ඕව බොරු ප්‍රචාර. තාම බෙදුවේ නැහැනේ. ඕව කටකතා.
●වැරදිලා හරි බෙදුවොත් ?
වෙන රටවල්වල උන් ඇවිල්ල මේකේ පදිංචි උනාම අපිට පාරකවත් යන්න බැරිවෙයි.
●හාමුදුරුවරු දේශපාලනයට එනව. ඒක හරිද?
හාමුදුරුවන්ට දේශපාලනය වැඩක් නැහැ. අපි කියන්නේ උන්වහන්සේලට පන්සල් ටික බලාගෙන මිනිස්සු එක්ක හොඳින් ඉන්න කියල.
●ජේවීපී එකත් කියනව හැමදාම බලය ගන්නව කියල? රට අපිට දෙන්න අපි කරන්නම් කියල?
එයාල කෑ ගැහුවට එක ඡන්දෙකින්වත් තාම දිනුවේ නැහැනේ. උන්දැල කෑ ගැහුවට මෙච්චරවත් කරන්නත් බෑනේ.
●රනිල් මහත්තයගෙයි මෛත්‍රී ජනාධිපතිතුමාගෙයි පාලනය ගැන මොකද හිතෙන්නේ?
පාලනය හොඳයි. ඒ උනාට ජීවත්වෙන්න කරදරයි. සහන නැහැ. පෝර ටිකක් ගන්න නැත්තම්, අඩුවට බඩුවක් මුට්ටුවක් නැත්නම් හොඳ උනාට මොකද වැඬේ.
●ඇයි ඒ?
ඒක තමයි අහන්න ඕනැ.
●හාල් සීයයි? පොල් 70--80 යි?
ඒකත් රජයෙන් තමයි අහන්න ඕනැ.
●ඉන්දියාවට ඇමෙරිකාවට මේ රටේ සමහර ආයතන විකුණන්න යනව නේද?
මේ රටේ දේවල් එක එකාට විකුණනවට අපි විරුද්ධයි.
●ඒව පාඩු නිසයි විකුණනව කියන්නේ?
පාඩු නම් අනිත් රටවල් ඇවිත් කොහොමද ලාභ ගන්නේ? ඒකට වැඩකට නැති වියදම් අඩු කරන්න ඕනැ.
●හම්බන්තොට ඉඩම් වෙන රටකට දෙන්න යනව කියල ප්‍රචාරයක් යනව. ඒ ගැන දන්නවද?
කොල්ලෝ වගයක් ඔය ගැන කීව. ඒක වැරදියි. මේ රටේ අපටවත් ඉඩමක් නැහැ.
●හැමදේටම උද්ඝෝෂණ කරනවනේ. ඒක හරිද?
ඒක වැරදියි. ඉවසන්න පුරුදු වෙන්න ඕනැ.
● ඡන්දේ කල් යනව කියල විරුද්ධ පක්ෂය කියනව. ඒක හරිද?
ඒක හොඳයි කියන්නත් බැහැ. නරකයි කියන්නත් බැහැ. ඒක රජයේ වැඩක්.
●මහ බැංකුවේ හොරකමක් උනා කියනව නේද?
මං දන්නේ නැහැ. ගත්ත උන් ගෙවල් දොරවල් හදාගෙන ඇති.
●සංවර්ධන වැඩ නවත්තල නේද?
කවුද කියන්නේ? අපේ ගෙවල් ළඟ පාරත් හදනව. එව්ව බොරු.
●වාහන දඬේ වැඩිකරල නේද?
අප්පා දඩ නම් වැඩි කරන එක හොඳ නැහැ. මිනිස්සු හරි අමාරුවෙන්නේ ඉන්නේ.
●සංවර්ධන සභා පනත පළාත් සභාවලින් පරාද උනා නේද? ඒ ගැන මොකද හිතෙන්නේ?
ඒ මොකක්?
●ව්‍යවස්ථා සංශෝධනයක් කරනව කියල මේ දවස්වල කතාවක් යනව නේද?
එව්වට උත්තර මහත්තය ලියන්ඩ.
●දැන් කට්ටියක් පොහොට්ටුව ලකුණින් ඡන්දෙ ඉල්ලන්න ලෑස්තියක් තියෙනව. ඒ ගැන මොකක්ද අදහස?
මොකෙන් හරි ඇවිත් අපිට සහන දෙන්න කියලයි කියන්නේ.
●යූඇන්පියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකතුකරල හදපු යහපාලන ආණ්ඩුව ගැන මොනවද හිතන්නේ?
මොනා හිතන්නද? තිබ්බ එකටත් අන්තයි.
●ලොතරැයි මිල වැඩි කරන්න ගිහින් උනේ මාර වැඩක් නේද?
කලින්නම් ගත්ත. ඉස්සර වගේ දිනුම් නැහැ. දැන් ගන්නේ නැහැ.
●මේ රටේ හිටපු හොඳම පාලකය කවුරු කියලද ඔබ කියන්නේ?
ජේ.ආර්. මහත්තය, ප්‍රේමදාස මහත්තය, බණ්ඩාරනායක මහත්තය, ඩඞ්ලි සේනානායක මහත්තය, ඩී.බී. විජේතුංග මහත්තය. ඔන්න මිනිස්සු.
●ඇයි දැන් ඉන්න අය ?
තාම මොනාවත් කරේ නැහැනේ.
●මාමට ජනාධිපතිකම ලැබුණොත්?
හිනා .... මං ඉගනගෙන තියෙන්න එපැයි ඒකට.
●හරි හරි ලැබුණ කියමුකෝ?
දැන් මහත්තයට මීමො බානක් (මී හරක් දෙන්නෙක්) දීල කීවොත් හීයක් හාන්න කියල පුළුවන්ද කොරන්ඩ?
●මං කොහොම හරි හානව.
(මහ හය්යෙන් හිනාවෙයි). ඒ වගේ තමයි මහත්තය නොදැන රට පාලනය කරන එකත්.