සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු
මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා
2024 වසර සඳහා වන අය වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමඟ මේ කතාබහ ඒ සම්බන්ධයෙනි.
ප්‍ර:අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් කිව්වේ ‘මේක විප්ලවීය අයවැයක්’ කියලයි. ඔබ මොකද කියන්නේ?
ගිය පාර අය වැය ඉදිරිපත් කරපු වෙලාවෙත් මම කිව්වේ ‘කපුටාගේ කූඩුවේ කොහා බිත්තර දාලා’ කියලයි. ඒ වගේම මම කිව්වා ‘එන අවුරුද්ද එනකොට බලමු. කොහාට මොක ද වෙන්නේ’ කියලා.
ප්‍ර:දැන් මොක ද වෙලා තියෙන්නේ ?
දැන් කොහාට කපුටෝ කොටන්න පටන් අරන්. මොකද ඒ ගොල්ලෝ දැන් කියනවනේ ‘රනිල් වික්‍රමසිංහ කියන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා. එයා ක්‍රියාත්මක කරන්න ඕනෑ අපේ ප්‍රතිපත්ති කියලා. නාමල් එහෙම කිව්වනේ. එතකොට කිසිම විප්ලවයක් එයාට කරන්න බෑ. කරන්න වෙන්නේ පොහොට්ටුවේ අය කැමැති වෙන දේවල් විතරයි.
ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වනේ රට බංකොලොත් කළේ රාජපක්ෂලා සහ කණ්ඩායම’ කියලා. රට බංකොලොත් කරපු කට්ටියත් එක්ක ඒගොල්ලන්ට ජනතාවට මුහුණ දෙන්න ඉතාම අපහසු තැනක ඉන්නකොට කොහොම ද රනිල් වික්‍රමසිංහ විප්ලවවා දී වැඩ කරන්නේ? ඒක කොහෙත්ම වෙන්න බැරි දෙයක්නේ.
ප්‍ර:මේ අය වැය තුළ ඔබ කිසිම හොඳක් දකින්නෙම නැද්ද?
මෙහෙමයි. ආර්ථිකය පැත්තෙන් මේ පෙන්වලා තියෙ දිශානතිය හරි. මම ඒක නෑ කියන්නේ නෑ. දිශානතිය හරි වුණාට ගිය අවුරුද්දේ අයවැය ඉදිරිපත් කරනකොට ජනාධිපතිතුමා කිව්වා 2048 වෙනකොට රට සංවර්ධනය කරන්න ‘ගෲප් ලැබ්’ එකක් කරලා සති හයක් කැබිනෙට්ටුව විශේෂඥයෝ නිලධාරින් ආචාර්ය මහාචාර්යවරුන් පෞද්ගලික අංශය මේ ඔක්කොමත් එක්ක සාකච්ඡා කරල 2048 දී රට ගොඩනගන වැඩ පිළිවෙළ මොකක්ද කියලා සැප්තැම්බරයේ දී ජනතාවට ඉදිරිපත් කරනවාය. ඒක ඊළඟ ජනවාරියේ ඉඳන් ක්‍රියාත්මක කරනවාය කියලා. එහෙම වුණොත් අපිට පිළිගන්න පුළුවන් මේගොල්ලෝ එකඟ වෙච්ච වැඩ පිළිවෙළක් තියෙනවා කියලා.
ප්‍ර:ඔබ කියන්නේ මේ අය වැයේ එහෙම ‘ඇක්ෂන් ප්ලෑන්’ එකක් නෑ කියලද?
එහෙම එකක් නෑ. එතුමා එතුමාගේ අදහස් වගයක් ඉදිරිපත් කළා විතරයි. ඒ අදහස් අපි හොඳට දන්නවා. උදාහරණයක් හැටියට රට ලෝකයට එකතු කරන්න ඕනෑ කියන අදහස එතුමා ඉදිරිපත් කළා. අපට ඒක ගැන කිසිම ගැටලුවක් නෑ. ඒක තමයි විය යුත්තෙත්.
හැබැයි ඒක කිව්වට ඒක කියන්නේ මොන පදනමක් මත ද මොකද එතුමාට ජනමතයක් නෑනේ. ජනමතයක් නැතිව ඔහොම කියනකොට ඒකෙ අගයක් නෑ. ජනමතය තියෙන කට්ටිය එහෙම ජනමතයක් දැන් නෑ තමයි. නමුත් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන කණ්ඩායමක් ඔය කියන කතාව පිළිගන්නේ නැත්නම් මේක කොච්චර ප්‍රගතිශීලී වුණත් ඒකේ වැදගත් කමක් නෑ.
ප්‍ර:රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් දහ දාහකින් වැඩි කරලා තියෙනවා. සමහරුන්ට අනුව නම් ‘මේ වෙලාවේ ඒක ආශ්චර්යයක්’?
පාර්ලිමේන්තුවේ දී මම කරපු කතාවෙදිත් මේ ගැන මම පෙන්වලා දුන්නා. ඔව්! පඩි වැඩි කරන්න ආණ්ඩුව වෙන් කළා බිලියන 133ක්. හැබැයි අලුත් බදු වගයක් ගැහුවා. හැබැයි කවුරුවත් ඒ බදු මෙනව ද කියලා දන්නෙත් නෑ. මේවා ගැසට් එකෙන් ගහන්නේ. එහෙම අලුත් බදු තියෙනවා.
ප්‍ර:ඔබ දන්න විදියට ඒ මොනව ද?
ඔව්! උදාහරණයක් විදියට අපි දන්නවා වැට් එක සියයට 18ට ගෙනියනවා. අධ්‍යාපනයටයි. සෞඛ්‍යයටයි ඇරෙන්න අනික් ඔක්කොටම වැට් එක සියයට 18ක් ගහනවා. වැට් එකේ සීමාව මිලියන 80ට අවුරුද්දට වැඩිනම් තමයි වැට් ගෙවන්න වෙන්නේ. ඒක රටම අඩු කරනවා.
ඊට පස්සේ සමාජ ආරක්ෂණ බද්ද වදින්නේ කඩයක් හරි ආයතනයක් හරි අවුරුද්දම මිලියන 120ක් වියදම් කළොත්. හැබැයි ඒකත් මිලියන 60ට අඩු කරනවා. ටෙලිෆෝන් එකට කොම්පියුටරයට, තෙල් ටිකට, ගෑස් එකට වැට් ගහනවා. වෛද්‍ය උපකරණවලට යන්ත්‍රෝපකරණවලට වැට් එක ගහනවා. ඒ හරහා එකතු කරගන්න හදන අලුත් බදුවලින් විතරක් රුපියල් බිලියන 800ක් විතර බලාපොරොත්තු වෙනවා.
එතකොට රුපියල් බිලියන 133ක් වියදම් කරනවා පඩි වැඩි කරන්න. ඒ සියලු දෙනාගෙන් අලුත් බද්දෙන් බිලියන 800ක් අයකර ගන්නවා. එතකොට මම කියන්නේ රුපියල් සීයකින් පඩි වැඩි කරලා රුපියල් 600ක් බදු වශයෙන් අය කර ගන්නවා. ඒක තමයි යථාර්ථය.
ප්‍ර:පවුල් ලක්ෂ 20 කට ඉඩකඩම් හා ගොවි බිම් අයිතිය ලබාදෙන බවත් ජනාධිපතිවරයා කිව්වා. ඒක නම් බොහොම ප්‍රගතිශීලී වැඩක්?
ඒක පිළිගන්නවා. ඒක අපි කාලයක් තිස්සේ කතා කරපු දෙයක්. ඔය ඉඩම්වල අයිතිය නැති නිසා සමහර පුද්ගලයන්ට ඒවා පාවිච්චි කරන්න බැරිව යනවා. ඒවායේ ආයෝජන වටිනාකම ලබාගන්න බැරි වෙනවා.
ඉතින් අපට පුළුවන් නම් ක්‍රමවේදයක් යොදාගෙන ඔවුන්ට ඒ අයිතිය ලබා දීලා ඔවුන්ට ආර්ථික නිදහස දෙන්න ඒක ඉතාම හොඳ දෙයක්.
ඔය ආර්ථික නිදහස ගැන සමගි ජන බලවේගයේ අපි ලොකුවට කතා කරන දෙයක්. ඒ නිසා කවුරු කළත් ඒක හොඳ දෙයක්. කොහොම වුණත් මෙතුමා පටන් ගත්තට අපේ ආණ්ඩුවකින් තමයි ඕක ඉවර කරන්න වෙන්නේ. ඔය ඉඩම් ඔය විදියට සංවර්ධනය වෙනව නම් ඒ කට්ටියට අලුතෙන් නිවාස හදලා දෙනවා නම් ගෝඨාභය රාජපක්ෂ හැදුවා වගේ කුකුල් කූඩු වගේ හදලා බෑ. ඔය වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වෙන්න ඕනෑ යම් යම් කොන්දේසි මත. ඒක කොළඹ ද ගමේ ද කියලා ගැටලුවක් නෑ.
අපි බලාපොරොත්තු වෙන්නේ අපේ සමාජ වෙළෙඳ පොළ වැඩ පිළිවෙළ හරහා එක පැත්තකින් තමන්ට තමන්ගේ දේපොළවල අයිතිය තියෙන්න ඕනෑ. අනික් පැත්තෙන් සමාජ සාධාරණත්වය හා යුක්තිය ඉටුවිය යුතුයි.
ප්‍ර:නාගරික පවුල් පනස් දාහකට නිවාස හිමිකම් අයිතිය ලබා දෙනවා කියලා ජනාධිපතිවරයා කිව්වා. කොළඹ මිනිස්සු ඒකට රතිඤ්ඤා පත්තු කළා. ඔබලාට ඒක අවාසියක් නොවේද?
නෑ. අපිට අවාසියක් වෙන්නේ නෑ. කොළඹ දිස්ත්‍රික්කයෙන් එක මන්ත්‍රීවරයෙක්වත් ආවේ නෑනේ. ජනාධිපතිතුමාටවත් එන්න බැරි වුණානේ. කොළඹ දිස්ත්‍රික්කයේ යූඑන්පී එකේ ඉන්න කට්ටිය කොහේද ඉන්නේ කියලා අපි දන්නවා. එතකොට කොළඹ දිස්ත්‍රික්කයේ මිනිසුන්ට හොඳක් වෙනවා නම් අපි කුහකයෝ නොවෙයි. කවුරු කළත් හොඳ දෙයක් නම් ප්‍රශ්නයක් නෑ. මිනිස්සු දන්නවා අපි මේ ගැන කතා කරනවා කියලා.
ප්‍ර:විපක්ෂයට තඩිබාන්න තරම් නරකක් මේ අයවැයේ නෑ කියලා මම කිව්වොත්? ඒ වගේම ජනාධිපතිවරයා රට බාරගන්නකොට තිබුණ තත්ත්වයත් එක්ක?
ඔව්, අපිට පේනවනේ පාරේ යනකොට පෝලිම් නෑ. මිනිස්සු පැට්‍රෝල් පෝලිම්වල මැරෙන්නේ නෑ. ඒක එහෙම නොවෙයි කියලා කාටවත් කියන්න බෑනේ. ඒක ඇත්ත. නමුත් මෙතැන ප්‍රශ්නය තියෙන්නේ ඔය කරලා තියෙන්නේ ස්ථාවරීකරණය කිරීමක්. ඒ කියන්නේ රටේ ආර්ථිකයේ යම් ස්ථාවර භාවයක් ඇති කිරීමක්. මේ තියෙන ස්ථාවර භාවය සංසන්දනය කළොත් මීට කලින් තිබුණ ස්ථාවර භාවයට අලුත් ස්ථාවර භාවය තියෙන්නේ වෙනම ජීවන මිල මට්ටමක.
උදාහරණයක් හැටියට ගත්තොත් 2021 දී සාමාන්‍යයෙන් හතර දෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත් වෙන්න ගියේ රුපියල් අනූ දාහක් වගේ ගානක්. මේක තමයි ජන සංඛ්‍යාලේඛන එකෙන් හදලා තියෙන්නේ. දැන් ඒක එක් ලක්ෂ හැත්තෑ පන් දහසකට වැඩි වෙලා. ඒ කියන්නේ සියයට 91කින් වැඩිවෙලා.
එක පැත්තකින් ස්වයං සුබ පැතීමක් ඔවුන් කරගන්නවා. උද්ධමනය සියයට 2යි. පොලිය අඩුවෙලා. රුපියල ස්ථාවර වෙලා පෝලිම් නැති වෙලා කියල ද? හැබැයි යථාර්ථය තමයි එදා ඉඳලා අද වෙනකොට මිනිසුන්ගේ ජීවන මිල සියයට 91කින් වැඩිවෙලා. එතකොට කවුරු හරි හිතනවා නම් ඒක ලොකු ජයග්‍රහණයක් කියලා මිනිස්සු එහෙම කියන්නේ නෑ.
මිනිස්සු කියන්නෙ කොහොම ද බඩු මිල අඩු කරගන්නේ අපිට ජීවත් වෙන්න බෑ කියලා. අපට නොම්මර ටිකක් එහාට මෙහාට වෙනස් කරලා බජට් එකක් කියෙව්වා කියලා ඇති වැඩක් නෑ, මෙතැනින් එහාට අවශ්‍ය වන්නේ ස්ථාවර කරපු රට සංවර්ධනය කරන්නේ කොහොම ද කියන එකයි. එහෙම වර්ධනය වෙන්න මොකක් ද තියෙන වැඩපිළිවෙළ කියන එකයි.
මේ ස්ථාවර කිරීම නම් අභියෝගය, එහෙමනම් ඉතින් ඇති වැඩක් නෑ. මෙතැනින් එහාට යන්නේ කොහොමද කියන එකයි මූලික ප්‍රශ්නය. ඒකට අඩිතාලමක් දාලා තියෙනව ද කියන එකයි.
ප්‍ර:විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු කියනවා මේක මැතිවරණ අයවැයක් කියලා. ඒ කියන්නේ ඡන්ද ගන්න පුළුවන් අයවැයක් ඉදිරිපත් කරලා තියෙන්නේ ?
මේක ගැඹුරින් බලන්න එපැයි. මිනිසුන්ට මේක තේරෙන්නේ නෑනේ. රුපියල් දහ දාහක් ලැබෙන එක හොඳයි කියනවා. ඒකට පොඩි ගැම්මක් එනවා තමයි. ජනාධිපතිතුමාට හිතුණොත් ඔක්තෝබර්, නොවැම්බර් වෙනකොට දිනන්න බෑ කියලා එහෙම වුණොත් පාර්ලිමේන්තුව විසිරුවා දායි. වෙන කරන්න දෙයක් නෑනේ.
මතුපිටින් යම් යම් දේවල් දීලා බලන්නේ ඡන්දෙන් ගොඩ යන්න තමයි. නමුත් දේශපාලන කණ්ණාඩිය ගලවලා බැලුවම තමයි අපට තේරුම් යන්නේ මේ අයවැය කොච්චර සාර්ථක ද අසාර්ථක ද කියලා.
ප්‍ර:අයවැය ඡන්ද විමසීමේ දී මොකක්ද ඔබලා ගන්න තීන්දුව. මොකද ඔබම දැන් කිව්වා ජනතාවට යම් යම් දේවල් දීලා කියලා ?
අපි අයවැයට පක්ෂව ඡන්දෙ දෙන්නේ නෑ. අපි බලමුකෝ පොහොට්ටුවේ අය ඡන්දෙ දෙන්නේ කොහොමද කියලා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් එක්ක පොහොට්ටුවට අලුතෙන් හිතන්න වෙනවනේ. රාජපක්ෂ සහෝදර සමාගමයි ගජමිතුරු කල්ලියයි රට බංකොලොත් කරලා ජනතාව මේ අපායට ඇදලා දැම්මා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දීලා තියෙනවා. ඉතින් තව දුරටත් රෙදි ඇඳගෙන රනිල් වික්‍රමසිංහ එක්ක රට ගොඩනඟනවා කියලා එකඟ වෙන්නේ කොහොමද? රාජපක්ෂලාට තමන්ගේ ආත්ම ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයකුත් මෙතැන තියෙනවා.
මම ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ කතා කරන වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා සභාවට ආවා. ඒ වෙලාවේ මට එතුමට කියන්න සිද්ධ වුණා. ඇත්තටම මට ඒ මනුස්සයාගේ මුහුණ බලලා මට මේක කියන්න මොකද්ද වගෙයි. කවුරු මොනවා කිව්වත් යුද ජයග්‍රහණය පිටිපස්සෙ මහින්ද රාජපක්ෂ කියන නම තිබුණනේ. හැබැයි අද වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පස්සේ මොකක්ද වෙන්නේ? ඉතින් එහෙම තිබිය දී රනිල් වික්‍රමසිංහ එක්ක මේ ගමන යන්නේ කොහොම ද කියලා මට තේරෙන්නේ නෑ.
සාකච්ඡා කළේ -
■ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්