මේ කරුමෙන් ගැලවෙන්න රටම ලෑස්තිවෙලයි ඉන්නෙ


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක  විමල් වීරවංශ  

රටේ මොනවද වෙන්නේ. ඉදිරි ක්‍රියා මාර්ග මොනවාද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමඟ කළ සාකච්ඡාවකි.  

ප්‍රශ්නය- ජවිපෙ ඉන්න කාලේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී හිටපු ඔබ ඇයි දැන් විධායක ජනාධිපති ධුරයට පක්ෂව ඉන්නේ?  


පිළිතුර- ජනතා විමුක්ති පෙරමුණ තුළ අපි ඉගෙන ගත්තු දර්ශනයට අනුව ඕනෑම කාරණයක් තීරණය වෙන්නේ ඓතිහාසිකවත් විෂය මූලිකවත්. දැන් පවත්නා තත්ත්වය පිළිබඳව අපට හරියාකාර මැනීමක් තියෙන්න ඕනෑ. අද තියෙන්නේ 1978 දී ගෙනාව ව්‍යවස්ථාව නොවෙයි. 13 වැනි සංශෝධනයෙන් වෙනස් වෙච්ච 17 වැනි සංශෝධනයෙන් වෙනස් වෙච්ච, 18 වැනි සංශෝධනයෙන් වෙනස් වෙච්ච 19 වැනි සංශෝධනයෙනුත් වෙනස් වෙච්ච ව්‍යවස්ථාවක් තියෙන්නේ. එතකොට 78දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනකොට 13 තිබ්බෙත් නෑ. ඔය මම කියපු අනික් සංශෝධන තිබ්බෙත් නෑ. එතකොට මේ පසුව පැමිණි සංශෝධනවලින් මේ ව්‍යවස්ථාව බරපතළ විදියට ඔත්පළ කිරීමක් සිදුවෙලා තියෙනවා. ඒ ඔත්පළවීම වැඩි දියුණු කෙරෙන ආකාරයට පියවර ගැනීම සුදුසු නෑ.   


ප්‍රශ්නය- ඔබ කියන්නේ 20න් වෙන්නේ එහෙම ඔත්පළ වීමක් කියලද?   


පිළිතුර- ඔව්! 20 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් නොවෙයි ඇත්තටම යෝජනා කරලා තියෙන්නේ. ආරක්ෂක හමුදා ප්‍රධානියා, සේනාධිනායකයා, සහජීවනය ඇති කරන්නා, පළාත් සභා බලාගන්නා තත්ත්වයේ ඉන්නවා. එතකොට එයා නාම මාත්‍රික ජනාධිපතිත් නොවෙයි. පූර්ණ විධායක ජනාධිපතිත් නොවෙයි. ඒ අතරේ රාජ්‍ය නායකයා ජනාධිපති. අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ නායකයා. ජනාධිපතිවරයා අතේ ආරක්ෂක හමුදා පාලනය කිරීමේ බලය, සහජීවනය ඇති කිරීමේ බලය, පළාත් සභා පවත්වාගෙන යාමේ බලය තිබුණාම ඔහු අඩුම ගානේ කැබිනට් මණ්ඩලයට සහභාගි වෙන්නෙත් නෑ. එතකොට විධායක බලය අහෝසි කිරීම එකක්. අහෝසි කිරීම නොකර විධායක බලයෙ කොටසක් ජනාධිපතිවරයාට තියෙන්න ඇරලා සන්නද්ධ හමුදාවන්ට අණ දීමේ බලය ජනාධිපතිට දීලා. ඒ ජනාධිපතිව දේශපාලනය නොකරන සිවිල් සමාජයෙන් තෝරලා එයාව පාර්ලිමේන්තුවේ බහුතරයෙන් තෝරාගෙන ඒ බලතල භුක්ති විඳින්න දෙනවා. මහජන පරමාධිපත්‍යයෙ බලයෙන් තෝරන ජනාධිපති කෙනෙක් වෙනුවට පාර්ලිමේන්තුවේ ඇලෝෂියස් මහත්තයාට මුදලින් ගන්න පුළුවන් කට්ටියට බලය දෙනවා රටේ ජනාධිපති තෝරන්න. එතකොට මේක බලවත් විකෘතියක්. මේකෙන් වෙන්නේ කිසිම කෙනෙකුට රට පාලනය කරන්න බැරිවෙන විදියේ ව්‍යාකූලත්වයක් මතු කිරීම. අනිත් කාරණය තමයි බෙදුම්වාදයට ඕනෑ මේ මුදුන දුර්වල කරන්න. අපි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කළාට දෙමළ බෙදුම්වාදය ජාතිකවත්, ජාත්‍යන්තරවත් තවමත් නිරුපද්‍රිතයි. එතකොට බෙදුම්වාදය කැමැතියි මුදුන දුර්වල වෙලා පරිධිය බලවත් වෙනවට.  


ප්‍රශ්නය- ඔබ මෙතැන පරිධිය කියලා හඳුන්වන්නේ?  


පිළිතුර- පරිධිය කියලා කියන්නේ පළාත් සභා බල ප්‍රදේශයට. එතකොට මේ උපාය මාර්ගයට අනුව බැලුවත් විධායක ජනාධිපති ක්‍රමයට මේ මොහොතේ අත තැබීම රටේ අනාගතය පැත්තෙන් ගත්තොත් ඉතාම භයානකයි. ඒක වාසිදායක වෙන්නේ බෙදුම්වාදී බල ව්‍යාපෘතියට පමණයි. රට අස්ථාවර හා අරාජික කරන්න බලාගෙන ඉන්න අයට පමණයි මේකෙන් ප්‍රයෝජනයක් එන්නේ. ඒ නිසා තත්ත්වයන් අනුව තමයි අපි බලන්න ඕනෑ යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් අපි ගන්නා ස්ථාවරය.   

 

 

මම කියලා නෑ ගෝඨාභය රාජපක්ෂ අනාගත ජනාධිපති අපේක්ෂකයා කියලා. මම කියලා තියෙන්නේ ඔහුම තමයි රටේ මිනිස්සු ඉල්ලන්නේ කියලා. ඒක මම අදත් කියනවා. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැවතත් අපේ අවුරුදු 10ක ආණ්ඩුවේ තිබිච්ච දුර්ගුණ නැති වෙච්ච යහගුණ වර්ධනය වෙච්ච ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ තිබිච්ච දුර්ගුණ නැවත බලාපොරොත්තු වෙන්නේ නෑ. යහගුණ තව වැඩියෙන් බලාපොරාත්තු වෙනවා. ඉතින් මේ රටේ මහජනතාව දුර්ගුණ අවම වෙච්ච යහගුණ වැඩි දියුණු කළ හැකි නායකයෙක් හැටියට ගෝඨාභය රාජපක්ෂ හඳුනාගෙන තියෙනවා.


ප්‍රශ්නය- මහා පරිමාණ යුද්ධයක් තියෙන කාලේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කතා කරලා දැන් යුද්ධයක් නැති කාලේ ඒක ආරක්ෂා කරන්න කතා කිරීම දෙබිඩි නැද්ද?  


පිළිතුර- ඒ කාලෙත් ඒක යෝජනා කරන්නේ මම නොවෙයිනේ. ජනතා විමුක්ති පෙරමුණයි.  


ප්‍රශ්නය- මම කියන්නේ ඔබ ජවිපෙ ඉන්න කාලය ගැනයි.  


පිළිතුර- ඔව් ජනතා විමුක්ති පෙරමුණයි ඒක යෝජනා කරන්නේ. මම ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක් හැටියට ජනතා විමුක්ති පෙරමුණේ මතයයි මම ඒ ඉදිරිපත් කළේ.  


ප්‍රශ්නය- ඒ කියන්නේ එදා ඒ ගැන රටට කිව්වේ හදවතින්ම නොවෙයි?  


පිළිතුර- ඒ මතය මගේ පෞද්ගලික මතයට එකඟද නැද්ද කියන කාරණය වැදගත් නෑ. ඒ කාරණය පසෙක තබලා ජනතා විමුක්ති පෙරමුණේ මතය මම රටට කිව්වා. ඔව් එදා ඒ මතය මම නියෝජනය කළා. එතකොට ඔබ අහන්නේ යුද්ධයක් තියෙනකොට එහෙම කිව්වා කියලනේ. හරි එහෙනම් අපි බලමු ඒක එහෙම නොවුණේ අැයි කියලා. අපි 94දී ගලප්පත්ති මහත්මයාව අයින් කර ගත්තා චන්ද්‍රිකාගෙන් පොරොන්දුවක් අරගෙන. චන්ද්‍රිකා ඒක කළෙත් නෑ. ඊළඟට 2005දි මහින්ද රාජපක්ෂ දිනවන්න තීරණය ගැනීමට ඕකත් එක කාරණයක්. ඒත් ඒක කළෙත් නෑ. කවුරුත් මේක කළේ නෑ. ජවිපෙ අපි ඉල්ලුවා. හැබැයි කළේ නෑ. එතකොට ජවිපෙ ඉල්ලලත් ඒක නොකළේ ඇයි? කරන්න පුළුවන් ඇත්ත තත්ත්වයක් නියමානුකූලව තිබුණේ නෑ. ඒක තමයි ඇත්ත. ඒක කළා නම් සිද්ධවෙන අවුල ඊට වැඩියි කියන එක ඒ අය තේරුම් ගත්තා. විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරන්න බලපෑවේ ඒ තත්ත්වය. ඉතින් ඉතිහාසයෙ අපි කිසියම් ස්ථාවරයක් දැරුවා කියලා ඝනීභූතවෙලා, ගල්වෙලා ඒ ස්ථාවරයෙම ඉන්න අවශ්‍ය නෑ. බලන්න ඕනෑ තත්කාලීනව මොනවද වෙලා තියෙන්නේ. ඒ වෙනස්වීම්වලට අනුව ඒ ස්ථාවරය හරිද? වැරැදිද වලංගුද නැද්ද කියලා බලන්න ඕනෑ.  


ප්‍රශ්නය- ඔබ කියන විදියට එහෙමනම් කවදාවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න වෙන්නේ නෑ!  


පිළිතුර- නෑ පුළුවන්. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හා 13 වැනි සංශෝධනය ඉවත් කිරීම, ඒ වගේම මැතිවරණ ක්‍රමය පූර්ණ කොට්ඨාස ක්‍රමයට පරිවර්තනයවීම මෙන්න මේ වගේ ගොඩාක් දේවල් එකට​ වෙනකොට ඒක කරන්න පුළුවන්.   


ප්‍රශ්නය- ජවිපෙ ගෙනා 20න් විධායක අගමැති කෙනෙක් බිහිවෙනවා කියලා ඔබත් කිව්වා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහට විධායක බලය ලැබෙනවා කියලයි. ඔබලා බය ඒකට?  


පිළිතුර- නෑ. මේ ව්‍යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ ගේන්නේ රනිල් වෙනුවෙන්. ජනතා විමුක්ති පෙරමුණටත් ජනාධිපතිවරණයකට මුහුණ දෙන්න අමාරුයි. ජනාධිපතිවරණයක් ආවොත් ආයෙමත් හංස පූට්ටුවක් අටවාගන්න ඕනෑ. හංස පූට්ටුව අටවා ගන්න සටන් පාඨයක් ඕනෑ වෙනවා. ඒ සටන් පාඨය වෙනුවෙන් තමයි 20 ගෙනාවේ. දැන් මේකට තුනෙන් දෙක නැත්නම් පාර්ලිමේන්තුවේ මුකුත්ම වෙන්නේ නෑ. තුනෙන් දෙක නැති වුණත් ජවිපෙට තියෙන ලාභය තමයි සමාජයෙ මේ සටන් පාඨය ඔසවලා තබලා ඊළඟ ජනාධිපතිවරණයට දෙවැනි හංස පූට්ටුවට මේ සටන් පාඨය යොදා ගැනීමට හැකිවීම. ඒක තමයි මේකෙන් ජවිපෙට තියෙන අවම ලාභය. ඒ අතර උපරිම දේ තමයි තුනෙන් දෙකේ බලය ලැබුණොත් කාරක සභා අවස්ථාවෙදි පළාත් සභා බලවත් වෙන විදියේ නව සංශෝධන ටිකකුත් ගෙනල්ලා. තුනෙන් දෙකෙන් සම්මත කරගෙන ඉදිරි ජනාධිපතිවරණය ඒක වලංගු භාවයට පත් කරන ජනමත විචාරණයක් බවට පත්කර ගැනීම. මේක තමයි උපායිකව ඒ ගොල්ලන්ට තිබෙන අවශ්‍යතාවය. රනිල්ටත් ජනාධිපතිවරණයකට ඉල්ලලා දිනන්න බෑ. ඉතින් ඒ නිසා ඒ ගොල්ලෝ හිතනවා ඩීල් ක්‍රමයට අගමැතිවෙලා විධායක බලය අරගෙන ඉන්න එක තමයි පහසු කියලා. ඇත්ත කතාව අපට ජනාධිපතිවරණය ඕනෑ. ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න සුදුසු අපේක්ෂකයෝ ඉන්නේ අපට. ඒවගේම ජයග්‍රහණය කිරීමේ වැඩි හැකියාව තිබෙන්නේ අපිට. හැබැයි එතෙක් මේ අගමැතිවරයා අතට විධායක බලයේ විශාල පංගුවක් පිරිනැමෙන ආකාරයේ සංශෝධනයකට යනවට අපි එකඟ නෑ. ඒකෙන් අදහස් වෙන්නේ නෑ. ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ දිනනවා කියලා. ජනාධිපතිවරණයක් කියන්නේ රටේ නායකය හැටියට. එතකොට අගමැතිවරයයි ජනාධිපතිවරයයි සම බලතල යුගලක් හදලා රට අවුල් ජාලයක් කළ යුතු නැහැ. මේක මහා විකාරයක්. ජනාධිපති ක්‍රමය අහෝසි වෙනවා නම් පූර්ණව කේවල ඡන්ද ක්‍රමය එන්න ඕනෑ. 13 වැනි සංශෝධනයේ තියෙන අගතිගාමී අංගෝපාංග ඉවත් වෙන්න ඕනෑ. අන්න නාමික ජනාධිපතියි පූර්ණ බලතල සහිත අගමැති කෙනෙක් එයි. ඒක හරි! අපිට ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ සමස්ත පැකේජ් එක තියෙන්න ඕනෑ. එහෙම නැතිව ජනාධිපතිගෙ කෑල්ලක් ගලවනවා. අගමැතිගෙ තව අඬුවක් ගලවනවා. අනික මේ මන්ත්‍රීවරු පහක් ඉන්න පක්ෂයකට මොකද්ද තියෙන සදාචාරාත්මක අයිතිය රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න? සියයට 6ක්වත් ඡන්ද අරන් තියෙනවද? එහෙම පක්ෂයක් කොහොමද තීරණය කරන්නේ රටේ ව්‍යවස්ථාව ගැන.  


ප්‍රශ්නය- ඔබලා වැනි පක්ෂවලට කොහොමත් විධායක ජනාධිපති කෙනෙක් අවශ්‍යයි?  


පිළිතුර- අපිට විධායක ජනාධිපති කෙනෙක් අවශ්‍ය නෑ. මේ තියෙන තත්ත්වය යටතේ රටට ඕනෑ. මම විධායක ජනාධිපති ක්‍රමය වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන විදියත් මම කිව්වා. ඒ ෆුල් පැකේජ් එක නැතිව කෑලි කෑලි ගලවල රට අරාජික වෙනවට දෙමළ බෙදුම්වාදයට අවශ්‍ය පරිසරය හදලා දෙනවට, බටහිර රටවල්වලට මේ රට අස්ථාවර හා අරාජික කරන්න උදව් වෙනවට අපි විරුද්ධයි. එහෙම නැතිව විධායක ජනාධිපති ක්‍රමය සදාකල් තිබිය යුතුයි. කියන ස්ථාවරයෙ අපි නෑ.   


ප්‍රශ්නය- පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකය සම්බන්ධයෙන් බරපතළ මතභේද තියෙනවා? 

 
පිළිතුර- එහෙම කිසිම මතභේදයක් නෑ. අපේ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා තව නොබෝ කාලයකින් රටට ප්‍රකාශ කරයි.  


ප්‍රශ්නය- ඔබලා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඔහුගේ නම කලින්ම කීම තුළින් ඔහු කිසියම් අනතුරකට හෙළලා තියෙනවා?  


පිළිතුර- මම කියලා නෑ ගෝඨාභය රාජපක්ෂ අනාගත ජනාධිපති අපේක්ෂකයා කියලා. මම කියලා තියෙන්නේ ඔහුම තමයි රටේ මිනිස්සු ඉල්ලන්නේ කියලා. ඒක මම අදත් කියනවා. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැවතත් අපේ අවුරුදු 10ක ආණ්ඩුවේ තිබිච්ච දුර්ගුණ නැති වෙච්ච යහගුණ වර්ධනය වෙච්ච ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ තිබිච්ච දුර්ගුණ නැවත බලාපොරොත්තු වෙන්නේ නෑ. යහගුණ තව වැඩියෙන් බලාපො​ෙරාත්තු වෙනවා. ඉතින් මේ රටේ මහජනතාව දුර්ගුණ අවම වෙච්ච යහගුණ වැඩි දියුණු කළ හැකි නායකයෙක් හැටියට ගෝඨාභය රාජපක්ෂ හඳුනාගෙන තියෙනවා.  


ප්‍රශ්නය- ඒකාබද්ධයේම සමහරු කියනවා ඔබ ගෝඨාභයගේ නම කිව්වා කල් වැඩියි කියලා?  


පිළිතුර- නෑ ඒක මම කියන දෙයක් නොවෙයි. මම විතරක් නොවෙයි. ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කිව්වා. දිළුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාලා ගම්මන්පිල මැතිතුමා ඔය විදියට ඒකාබද්ධ විපක්ෂයේ හුඟාක් අය ඔය මතය පළ කරලා තියෙනවා. නමුත් අපි කවුරුවත් කියලා නෑ ඔහු තමයි අපේ ජනාධිපති අපේක්ෂකයා කියලා. අපි කියලා තියෙන්නේ මහජනයගේ ඉල්ලුම තියෙන්නේ ඔහුට කියලයි. ඒක ඇත්ත.   
ප්‍රශ්නය- ඔබ කොහොමටවත් බැසිල් රාජපක්ෂට කැමැති නෑ?  


පිළිතුර- බැසිල් රාජපක්ෂ එක්කවත් වෙනත් කා එක්කවත් මට පෞද්ගලික ප්‍රශ්න නෑ. දේශපාලන වශයෙන් මතභේද තියෙන්න පුළුවන්. විවාද තියෙන්න පුළුවන්. නමුත් මට පෞද්ගලික ප්‍රශ්න නෑ. මං පෞද්ගලික ප්‍රශ්න මත දේශපාලන තීන්දු ගන්නෙත් නෑ. පෞද්ගලික ප්‍රශ්න මත දේශපාලන තීන්දු ගන්නව නම් 2015 ජනවාරි 8න් පස්සේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා වෙනුවෙන් පෙනී ඉන්න මට ඕනෑ වෙන්නෙත් නෑ. එසේ පෙනී නොසිට සිටීමට තරම් පෞද්ගලික කාරණා මට තිබුණා. නමුත් ඒ පෞද්ගලික කාරණා නොවෙයි අපේ දේශපාලන තීන්දු තීරණවල සාධක බවට පත් වෙන්නේ.  


ප්‍රශ්නය- මොනවද ඒ කාරණා!  


පිළිතුර- ඒවා අතීතය. ඒ අතීතය නැවත හාරා ඇවිස්සිය යුතු නැහැ කියලයි මම කියන්නේ.  


ප්‍රශ්නය- නමුත් ඔබව හැඳින්වුණේ මහින්ද රාජපක්ෂගේ දේශපාලන ලොකු පුතා හැටියටයි?  


පිළිතුර- ඒකත් වෙනම කාරණයක්. ඒ නිසා මට පෞද්ගලික ප්‍රශ්න මුකුත්ම නෑ. ඒත් දේශපාලන ප්‍රශ්න තියෙනවා නම් මම ඒවා ගැන කතා කරන්න පැකිළෙන්නෙත් නෑ.  


ප්‍රශ්නය- ආණ්ඩුවෙන් 16ක් එළියට ආවා. නමුත් ඔවුන් අතරමංවෙලා වගෙයි?  


පිළිතුර- ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි තීරණය කළ යුතුව තිබෙනවා මේ ආණ්ඩුවට 2019 අග දක්වා රටට හතුරු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරගෙන යන්න ඉඩ දෙනවද නැද්ද කියලා. ඉඩ දෙනවානම් මේ 16 දෙනා කොහේ හිටියත් කමක් නෑ කියලා. ඒ කියන්නේ රනිල්ට පාර්ලිමේන්තුව ඇතුළේ කිසිම කරදරයක් නැතිව ඉදිරි කාලය යන්න ඉඩ දෙනවා නම් ඒ ඉඩ දෙන අදහසේ ඉන්න අයට මේ 16 දෙනා විපක්ෂයට ඒම ප්‍රශ්නයක්. ඒ නිසා අපි ඒ 16 දෙනාට ගරහන්න ඕනෑ. ඒ 16ට කුඩම්මගේ සැලකිලි දක්වන්න ඕනෑ. මේ 16 ආවත් ආණ්ඩුවට තුනෙන් දෙක නැති වෙන්නේ නෑ. තව 6ක් විතර ඕනෑ. ඒ ඉතිරි 6 එන එකත් නැති වෙන්නේ එතකොට.

එතකොට ඒ 16 දෙනාට ගැරහීම කාට කරන උදව්වක්ද?  


ප්‍රශ්නය- මම ඔබට බාධා කරනවා. නියෝජ්‍ය කතානායක තෝරන ඡන්දෙදි ඒකාබද්ධ විපක්ෂයෙ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් ඡන්දය නොදී මඟ ඇරියා. ඒකත් ඔය ව්‍යාපෘතියේම කොටසක්ද?  


පිළිතුර- ඒක මෙහෙමයි තේරුම් ගන්න ඕනෑ. නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්දයේදී ජවිපෙ මඟ ඇරලා ගියා රනිල්ට අවශ්‍ය කෙනා දිනවන්න. දෙමළ ජාතික සංධානයෙ අය මග ඇරලා ගියා රනිල්ට ඕනෑ කරන කෙනා දිනවන්න. ඒකාබද්ධයෙ කට්ටියකුත් මග අැරලා ගියා.   


ප්‍රශ්නය- ඒත් රනිල්ට ඕනෑ කරන කෙනා දිනවන්න?  


පිළිතුර- ඔබට පිළිතුර පැහැදිලයිනේ. අරගොල්ලෝ මග ඇරලා ගියේ මොකටද? සිතා මතා නොවුණත් ප්‍රතිඵලය ඔය ඔබ කියපු එක තමයි. දේශපාලනයෙදි සමහරුන්ට තරුණ මන්ත්‍රීවරුන්ට තීන්දු තීරණ ගැනීමේදී සමහර විට වරදින්න පුළුවන්. සිතාමතාද නැද්ද කියන එක නොවෙයි. ප්‍රතිඵලය මොකද්ද? අනික 16 දෙනාම අපි මල් මාලයක් කරගත යුතුත් නෑ. ඒ වගේම 16 දෙනාම අපි පහරදී පලවා හැරිය යුතුත් නෑ. මේ ආණ්ඩුවේ තුනෙන් දෙක නැති කළ යුතු නැද්ද? හැකිනම් මේ ආණ්ඩුවට 113ත් නැති කළ යුතු නැද්ද? හැකි පළමු පැයේදීම මහින්ද රාජපක්ෂ අගමැති බවට පත්කර බාරකාර ආණ්ඩුවක් නිර්මාණය කරගත යුතු නැද්ද? හැකි පළමු පැයේදීම පාර්ලිමේන්තුවේ ඉතිරි වෙලා තියෙන දින ටිකට හරි සැලැස්මක් රටට ඉදිරිපත් කරලා ඒ සැලැස්ම සාර්ථකව කරලා ඊළඟ ජනාධිපතිවරණයට යා යුතු නැද්ද? එහෙම උපාය මාර්ගයක් අනුව නම් ගමන් කරන්නේ 16 දෙනා ඇණයක් වෙන්නේ කොහොමද? 16 දෙනා ඇණයක් වෙනවා රනිල්ට කිසිම කරදරයක් මේ පාර්ලිමේන්තුව ඇතුළේ වෙන්න ඉඩ දෙන්නේ නෑ කියලා කවුරු හරි සහතිකයක් දීලා තියෙනවානම් අපේ කඳවුරෙන් කෙනෙක්. අන්න එයාට මේ 16 දෙනා ඇණයක්. ඒ නිසා එයා බලනවා මේ 16 දෙනාට ගහන්න.  


ප්‍රශ්නය- ඔබ හිතන විදියට කාටද ඒ අවශ්‍යතාවය තියෙන්නේ?  


පිළිතුර- ඒක ඉතින් දේශපාලනය දිහා විවෘතව බලන කෙනෙකුට එහෙම ඉන්නවා නම් පෙනෙයි. නැත්නම් නොපෙනෙයි.   


ප්‍රශ්නය- අර්ජුන් අ​ලෝෂියස්ගෙන් සල්ලි ගත්ත මැති ඇමැතිවරුන්ගේ නාම ලේඛනයක් තියෙනවා. ඔබේ නමත් ඒකේ තියෙනවද?  


පිළිතුර- මගේ නම ඒ ලැයිස්තුවේ තියෙනවා නම් ඒ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන්න කියලා මම ජනාධිපතිවරයගෙන් ලිඛිත ඉල්ලීමක් කරයිද? මම හිතන විදියට මම තමයි ඒ ඉල්ලීම ලිඛිතව මුලින්ම ඉල්ලුවේ. කවුරු හරි දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව ඒ සල්ලි ගත්තානම් ඔහු නියත වශයෙන්ම දේශපාලන නරකාදියට යනවා.  


ප්‍රශ්නය- රටේ ඉදිරියෙදි කුමක් වෙයිද?  


පිළිතුර- අද මේ රට ගමන් කරමින් තිබෙන්නේ ඔබ දන්නවා. උතුරේ ජන සංහාරක සති රාජ්‍ය අනුග්‍රහය ඇතිවම සමරනවා. පොලිසියට උපදෙස් දීලා තියෙනවා මේ ජන සංහාරක සැමරුම් සතිය තුළ මොකක්වත් කරන්න එපා කියලා. මහ සඟරුවනට පවා පන්සලට ඇවිත් වෙඩි තියන තරමට පාතාලය වර්ධනය වෙලා. පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙක්. උප සභාපති කෙනෙක් මේ වෙනකොට මරලා දාලා තියෙනවා. ආයෙමත් මේ රටට අනාරක්ෂිත බව ඇතිවෙලා තියෙනවා. ආර්ථිකය දවසෙන් දවස වැටෙනවා. ඒ කඩා වැටීමෙන් නිර්මාණය වෙන යම් යම් අවස්ථා විදේශිකයන් අතට පත්වෙනවා. දැන් මත්තල ගුවන් තොටුපළත් ඉන්දියාවට විකුණන්න සූදානම් වෙනවා. ඊළඟට ජාතික සම්පත් විදේශිකකරණය කරනවා. රටේ ජනාධිපති කියනවා “මම නැත්නම් රටේ බැංකු ටිකත් ඉවරයි” කියලා. ඒ කියන්නේ බැංකු ටිකත් විකුණන්න තමයි සැලසුම් කරලා තිබිලා තියෙන්නේ. විදේශ විනිමය පාලන පනත සංශෝධනය කළා. එහෙම කරලා කළු සල්ලි ලංකාවට ගේන්න ඉඩ හදලා දුන්නා. විදේශ මුදල් අරගෙන ඇවිත් දේශීය දේපොළ මිල දී ගන්නවා. ඒකට අපේ ආණ්ඩුව කාලේ තිබුණ බාධාවන් මේ ආණ්ඩුව ඉවත් කළා. ඉඩම්වල අයිතිය ගොවියට දෙනවා. නමුත් ගොවි ආර්ථිකය කඩා වැටිලා. ගොවියට ඔප්පු දුන්නට ගොවිය ඒ ඉඩම විකුණනවා. ඒ ඉඩම් වෙළෙඳ පොළත් විදේශිකයන්ට විවර වෙනවා. මේ විදියට ආර්ථිකය විදේශීයකරණයට ලක්වෙනවා. සමාජ සුබ සාධනය කඩා වැටිලා. දකුණේ වසංගත උණක් පැතිරෙනවා. සෞඛ්‍ය ඇමැති කෙනෙක් හිටියට ඒකට උත්තර නෑ. මේ කඩා වැටීම රටට ඔරොත්තු දෙන්නේ නෑ. මේ ගෙවිච්ච අවුරුදු තුන තුළ දශක තුනක් මේ රට පස්සට ගියා.  


ප්‍රශ්නය- මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?  


පිළිතුර- මේ රටම ලෑස්තිවෙලා ඉන්නේ මේ කරුමෙන් ගැලවෙන්න. අගමැතිවරයා කියනවා මේක පූරුවේ කරුමයක් කියලා. ඇමැති මණ්ඩලය දවසෙන් දවස වැඩි වෙනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ලක්ෂ ගණන් දීමනා දෙනවා. පගාදීලා අල්ලස් දීලා තමයි මේ ආණ්ඩුව යන්නේ. මේ ගමන තවදුරටත් යාමට ඉඩ දිය යුතු නෑ. අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට දැන් ලෑස්ති වෙනවා විශාල විරෝධතා ව්‍යාපාර ආරම්භ කරන්න. එමඟින් අපි බලාපො​ෙරාත්තු වෙනවා වැඩි කල් නොයා පාර්ලිමේන්තුව ඇතුළේ මේ ආණ්ඩුව වට්ටල මහින්ද රාජපක්ෂ අගමැති කරපු පාලනයක් පිහිටුවන්න.  

 

 

 

 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්