‘අද රටේ පන්සල් වැසී යන තත්ත්වයට පත්වෙලා‘


(නිමල කොඩිතුවක්කු)

දවස ගානේ පන්සල් වැසි යන තත්වයට  අද රට පත්ව ඇති බවත් විහාරස්ථාන  වසා දමන වැඩපිලිවෙළට අමතරව පුරාවස්තු  විනාශ කිරීමේ  වැඩපිළිවෙළකුත් ඉතාම සීඝ‍්‍රයෙන් රටපුරා  සිදුවීගෙන යන බවත්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹදි පැවසිය. 

එමෙන්ම කුඩා දරුවකුට පවා  පාරට බහින්න බැරි තත්වයකට අද  රට පත්ව ඇති බැවින් මෙම  තත්වයට විරුද්ධව මහා සංඝ රත්නය හා එක්ව ප‍්‍රබල  හඬක් නැඟිමට කාළය එළැඹි  බවත්  මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සදහන්කලේ නාරාහේන්පිට අභයාරාමයේ අභිනවයෙන්  ඉදිකළ ධාතු මන්දිරය සහ සත්බුදු මැදුර විවාත කිරිමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි. 

මෙම අවස්ථාවට සමගාමීව කපිල වස්තුපුර ධාතූන් වහන්සේලා, හුණුපිටිය ගංගාරාමයේ සිට වැඩම කරවන කේෂ ධාතූන් වහන්සේලා සහ සර්වඥ දාතූන් වහන්සේලා ප‍්‍රධර්ශනයක්ද සිදුකෙරිණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කිවේය.

‘අද  වනවිට මෙම විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්ව තිබෙනවා.  මේ අභයාරාමය එක් අවස්තාවකදී විහාරස්ථානයක් වශයෙන් තිබුණත්  පසුව සටන් භූමියක් විදියට  මේ විහාරස්ථානය පත්වෙලා තිබුණා. අපිට තැනක් නැතිවෙන කොට මෙය  අපිට නිවහනක් බවටත් පත් වුණා. අපිට මෙම ස්ථානය ලබාදිම නිසා  මුරුත්තෙට්ටුවේ  ආනන්ද හිමිට  අධිකරණයට පවා යන්නත්  වුණා. 

මුරුත්තෙට්ටුවේ  ආනන්ද හිමියන් සටන් කලේ සමාජය වෙනස් කරන්නයි. දවස ගානේ පන්සල් වැසි යන තත්වයට  අද රට පත්වෙලා තියෙනවා.  පන්සල් වැසී යන තත්වයට  පත්වෙද්දි මේ පන්සල්  නැවත ගොඩනැගෙන  තත්වයට පත්විම පිළිබඳ අපි සතුටට පත්වෙනවා.

එක පැත්තකින් අද කොළම නගරය දිහා  බැලූවොත් එහි  ඇතිවෙලා තියෙන තත්වය  දැකගන්න පුලූවන්.  අනික් පැත්තෙන් ගත්තොත් මුලූ රට පුරාම ඇතිවෙලා තියෙන ව්‍යාකූල  තත්වය දැකගන්න පුලූවන්.

විහාරස්ථාන  වසා දමනවාට අමතරව  පුරාවස්තු  විනාශකිරීමේ වැඩපිළිවෙළ ඉතාම සීඝ‍්‍රයෙන් කෙරිගෙන යන බව අද රහසක් නෙමෙයි.

ඒ  එක්කම අද සමාජය මත්ද්‍රව්‍ය වලින් පිරි  ඉතිරි යන යුගයක් බවට පත්වෙලා තියෙනවා.  ලංකාව හෙරොයින් මධ්‍යස්ථානයක් බවට පත්වෙලාදෝයි සැකයක් මතුවෙමින් පවතිනවා.  රටතුළ මේ තත්වය ඇතිවීම පිළිබඳ  අද සමහර ඇමතිවරුන් සිවිල් සමාජයට දොස් පවරනවා.‘