‘ආණ්ඩුව හදන යන්තරෙයි මන්තරෙයි තියෙන්නේ අපි ළඟයි’


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය නොමැතිව කිසිවෙකුට ජයග්‍රහණය කළ නොහැකිබවත් ආණ්ඩු හදන යන්තරෙයි මන්තරෙයි දෙකම තිබෙන්නේ තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ “මාතොට තීන්දුව හරි අතට”යන මැයෙන්වු මාතර දිස්ත්‍රික් සම්මේලනයේ දී ජනාධිපතිවරයා ඒ බව කීය.
 
වැලිගම නගර ශාලාවේ පැවැත්වු එම රැස්වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීවේය.
 
“2015 ජනවාරි 08වැනිදා මම අපේක්ෂකධුරය ලබා ගත් පෙරමුණ තමයි ජයග්‍රහණය කළේ. මහින්ද රාජපක්ෂ මහත්තයගේ රැස්වීම්වල විශාල වශයෙන් සෙනග පේන්න හිටියත් ඡන්ද ප්‍රතිඵලය ඊට වෙනස් වුණා. ඒ වර්ෂයේ අගෝස්තු මස පැවති මහමැතිවරණයෙදී මා කාටවත් සහාය දුන්නේ නෑ. එහිදී ප්‍රධාන පක්ෂ දෙකම පරාජයට පත් වුණා. එක්සත් ජාතික පෙරමුණ 106 යි. එක්සත් ජනතා නිදහස් සන්ධානය 96 යි ආසන දිනා ගත්තේ. ඒ කාටවත් 113ගන්න බැරි වුණා. ඒ නිසා ඉදිරියටත් ජනාධිපතිවරණයෙදිත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ මා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දෙන දේශපාලන පක්ෂයයි. ඒ නිසා ආණ්ඩු හැදීමේ යන්තරේ වගේම මන්තරේ තිබෙන්නෙත් අපේ ගාවයි” යැයිද පැවසීය.