‘ඉඩම් සින්නක්කර අයිතිය ජනතාවට දීමට විපක්ෂයේ විරෝධය ගැටලුවක්’


(නිමල කොඩිතුවක්කු)

නව ඉඩම් පනත මගින් ඉඩම්වල අයිතිය ඇමරිකාව ප‍්‍රමුඛ බටහිරට ලබා දෙන බවට විපක්ෂය නගන චෝදනා පුස්සක් බවත් අහිංසක ජනතාවට ඉඩමක සින්නක්කර අයිතිය ලබාදිමට විරුද්ධව ඔවුන් කටයුතු කරමින් සිටින බවත් ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ නියෝජය අමාත්‍ය එඞ්වඞ් ගුණසේකර මහතා පැවැසීය.

ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව කියන පොදු විපක්ෂය ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදිමට විරුද්ධවීම ප‍්‍රහේලිකාවක් බවත්  නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ   අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ  නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ කීය.

‘‘අපි සිදුකරන හැම සංවර්ධන යෝජනාවලියක්, පනතක්, ව්‍යාපෘතියකට  එරෙහිවම විපක්ෂය බොරු චෝදනා නගමින් බිල්ලො මවමින් සිටිනවා. ජනතාවට ඉඩමක සින්නක්කර අයිතිය ලබාදීමේ අරමුණින් අපි රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පනත ගැනත් අද විශාල බිල්ලක් මවලා තියෙනවා.

ඇත්තටම මේ රටේ ජනතාවට ඉඩම් දුන්නේ එක්සත් ජාතික පක්ෂයයයි.  ඩී.එස් සේනානායක මහතා  තමයි මේ රටේ පළමු ඉඩම් ඇමැතිතුමා. එතුමගේ  ඉඳන් මේ දක්වාම  අපේ රජයන් යටතේ නිවාස ඉදිකරලා දුන්නා, මහවැලි  ඉඩම් ලබාදුන්නා, ගොවිජන පද බිහිකළා. මේ  හැම දෙයක්ම කළේ අපේ රජයන් විසින්. අනෙකුත්  රජයන් ජනතාව  වෙනුවෙන් එවැනි කිසිවක් කර නැහැ.

දැන් මේ වෙද්දී අගමැතිවරයා  යළිත් ජනතාවට තමන්ගේ  භූමියේ සින්නක්කර අයිතිය ලබාදිමට ඉදිරිපත් වෙලා තියෙනවා. මේ රටේ  දසලක්ෂයක් ඉන්නවා  තමන්ටම කියලා ඉඩම් අයිතියක් නැති.  ඒ අයට ඉඩමේ සින්නකකර  අයිතිය ලබාදිමට තමයි අපි මේ පනත මගින් කටයුතු කරලා තියෙන්නේ.

මේ මිනිස්සුන්ට තමන්ගේ  ඉඩමේ අයිතිය පිළිබඳ විවිධ ගැටලූ තියෙනවා.  අද තියෙන මේ ලියකියවිලි, බලපත‍්‍ර මගින් මේ ඉඩමේ අයිතියක්  ඔවුන්ට තියෙනවද නැද්ද කියන එක සම්බන්ධයෙන්  අවිශ්වාසයකින් අද ජනතාව ජීවත් වෙනවා. ඔවුන්ගේ දැනුම අනුව ඔවුන්  මේ ඉඩම ගැන හරියට හෙට්ටු වෙනවා.

රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සඳහා අමාත්‍යාංශ 15ක ලේකම්වරුන්ගේ නියෝජිතයන්, ජනාධිපති නියෝජිතයෙක්, අගමැතිගේ නියෝජිතයෙකුගෙන් සමන්විත විශේෂ මණ්ඩලයක් පත් කරලා තියෙනවා. මේ ගැන යම් ගැටලුවක් තියෙනවනම් ඒකට  මේ ගැටලු ඉදිරිපත් කරන්න හැකියාව තිබෙනවා.

මේක ජනතාවට ඉඩමක සින්නක්කර අයිතිය ලබාදීමේ අරමුණින් පමණක් අපි ඉදිරිපත් කරනවා. සමෘද්ධිය ලබා දෙද්දිත් ඒකට විරුද්ධව නඩු දැම්මා. ඒ වගේ ජනතාව වෙනුවෙන් කරන සංවේදී  කාරණා වලදී තමයි අද විපක්ෂය වැඩියෙන්ම විරුද්ධව කටයුතු කරන්නේ.

මේ නිසා රටේ ජනතාව විපක්ෂයේ ක‍්‍රියා කලාප පිළිබඳ වඩාත් අවබෝධයෙන් කටයුතු කළ යුතුයි කියලා අපි ජනතාවට අවධාරණය කරනවා.’’ යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)