පෙර භවයේ ප්‍රබල සාක්කි
පෙර භවය හෙළි කළ දරුවන් අතර විවිධ සංස්කෘතීන්ට අයත් හැසිරීම් රටා ඉදිරිපත් කළ දරුවෝ සිටිති. එවැනි සුවිශේෂි පුනර්භව හැසිරීම් රටාවක් තිබූ දරුවෙක් 2011 වසරේදී කොළඹදී උපත ලැබීය. දෙමාපියෝ ඔහුට පවන් යනුවෙන් නම් තැබීය.
උපතින් නිරෝගී දරුවෙකු වූ එම දරුවා මාස තුනක් පමණ වන විට හදිසියේ තද උණක් සෑදුණි. උණ අධික වීම නිසා ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉදිරිපත් කැරිණි. ඔහුගේ රෝගී තත්ත්වය උණ සන්නිපාතය (PNEUMONIA) ලෙස හඳුනාගෙන තිබිණි. එහෙත් දරුවාගේ පියා යළිත් වෙනත් වෛද්‍ය අංශ වෙත ඉදිරිපත් කළේය. එහිදී එම වෛද්‍යවරුන් රෝගය හඳුනාගනු ලැබුවේ රුධිරය කැටියක් මොළයේ රුධිරවාහිනිය අතර සැදී ඇති බවකි. එය හඳුන්වන ලද්දේ MID BRAIN HEMORPHAGE ලෙසය. ස්වභාවිකව කල්ගතවීමෙන් සුවපත්වනු ඇතැයි වෛද්‍ය මතය විය.
පුත්‍රයාගේ රෝග තත්ත්වය නිසා දැඩි කනස්සල්ලට පත්ව සිටි පියා වෙනත් ප්‍රකිකාර ක්‍රම පිළිබඳව ද අවධානය යොමු කළේය. ඒ අනුව සිංහල වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කැරිණි. එමගින් දරුවා සුවපත් විය. එහෙත් දරුවාට කතා කිරීමේ හැකියාව නොලැබිණි. එවර ඔහුට කතා කරවීමේ ප්‍රතිකාර ක්‍රම ආරම්භ කිරීමට සිදු විය. එහෙත් එම ප්‍රතිකාර ක්‍රම වලින් ද සතුටුදායක තත්ත්වයක් උදා නොවිණි. එම ප්‍රතිකාර ආරම්භ වූයේ සිංහල බසින් කතා කිරීම උපයෝගී කර ගැනීමෙනි.
එම ප්‍රතිකාරවලින් ද සතුටුදායක තත්ත්වයක් නොලැබීම නිසා කතාව හුරු කරවීමේ වෙනත් අයෙකු යොදවනු ලැබීය. එවර දරුවාට කතා කරවීම ඉංග්‍රීසි බසින් සිදුකිරීම ආරම්භ විය. එහිදී පවන් කතාව ආරම්භ කළේ දෙමාපියන් පුදුමයට පත් කරවමිනි. ඉතා ඉක්මනින් ඉංග්‍රීසි බස උච්චාරණය කළ ඔහුගේ පළමු වදනින්ම ඉංග්‍රීසි බස පිළිබඳව උපතින් ලද සුවිශේෂි බවක් දක්නට ලැබිණි.
මාස කීපයක් ඇතුළත ඔහුට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වැඩිදියුණු වන්නට විය. ඉතැන් සිට ඔහු නිවසේදී දෙමාපියන්ට සහ සොහොයුරියට ඉංග්‍රීසි බසින් අමතන්නට විය. නිවසේ අයට ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළ ඔහු මේ අතර දෙමාපියන් පුදුමයට පත් කළ වදන් කීපයක් ද ප්‍රකාශ කළේය.
දිනක් මව ඇමතූ පවන් ඔහු පැමිණියේ කැනඩාවේ සිට යයි කීය. ඔහුගේ දෙමාපියන් කැනඩාවේ සිටින බැව් කී ඔහු තම පියාගේ නම ජෝන් බවත් ඔහුට කතා කළේ කෙවින් ලෙස බවත් කීය. මේ අතර පවන් තුළින් දක්නට ලැබූ තවත් සුවිශේෂි සිදුවීමක් තිබිණි. එනම් නිවසේදී සිය සොහොයුරිය සමග ක්‍රීඩා කරන විටදී මුදල් ගණන් පිළිබඳව කතා කරන විට ඩොලර්ස් යනුවෙන් පැවැසීය. ඔහු හැම විටම ඉල්ලා සිටියේ ඩොලර්ස්ය.
කිසි දිනෙක ඩොලර් නෝට්ටුව ඒ වන විට දැක නොතිබුණු ඔහු මුදල් ඉල්ලන අවස්ථාවලදී ඒවා හඳුන්වනු ලැබුවේ ඩොලර්ස් යනුවෙනි.
‘ඩොලර්ස් කියල පුතා එම වචන ප්‍රකාශ කරන විට එයා කවදාවත් ඩොලර් මුදල් නෝට්ටුවක් දැකලා තිබුණේ නැහැ. නිවසේදීත් එම වදන භාවිතා වීමක් උනේ නැහැ.’ යැයි පවන්ගේ මව අප සමග කීවාය.
පියා සමග මෝටර් රථයෙන් යන අවස්ථාවලදී ද ඔහු පවසන වදන් ද අතිශය පුදුමයට හේතු වී තිබේ. රථය පදවන විට හැම විටම (AUTO PILOT) යනුවෙන් හැඳින්වෙන අධි සුඛෝපභෝගී රථවල ඇති ස්වයංක්‍රීය ධාවනය යොදවන ලෙස ඔහු කියයි. ඒ අයුරින් පියාට උපදෙස් දෙන විට එවැනි රථයක් හෝ ඔහු දැක නොතිබීම ද තව විශේෂත්වයක් බැව් පියා පවසයි.
ක්‍රීඩා අංශ පිළිබඳව ද පවන් හැම විටම කතා කරනුයේ විදේශීය ක්‍රීඩාවලට සම්බන්ධවය. ඔහු කිසියම් වරදක් කළ විටදී ඔහුට පුංචි තරවටුවක් හෝ කළ විටදී ‘මම පොලිසියට පැමිණිලි කරනවා.’ යනුවෙන් කීමට ද මෙම දරුවාගේ සිරිත වී තිබේ. වරක් කැනඩාවේ මව ඔහු සිදුකළ වරදක්ට දඬුවම් ලෙස කාමරයකට දමා දොර වසා පැය ගණනක් තැබූ බැව් ද මෙම දරුවා මතකයෙන් හෙළි කරයි. එම වදන් පවසන විටදී කැඩනාවේ සිටියදී යනුවෙන් ඔහු ප්‍රකාශ කරයි.
හිසකෙස් කළු පැහැති වී තිබීම ගැන ප්‍රිය බවක් නොදක්වන ඔහු පවසන්නේ කෙස් රන්වන් පැහැයෙන් තිබිය යුතු බවය. වරක් දෙමාපියෝ පවන් සමග නුවරඑළියේ සංචාරයක ගියහ. එහිදී විදේශීය යුවලක් දරුවන් සමග ඔවුන්ට හමුවිය. එහි සිටි පිරිමි දරුවෙකු පෙන්වූ පවන් එයා මගේ සහෝදරයායි කීවේය. දෙමාපියන් පවසන්නේ එමගින් අනාවරණය වූයේ විදේශීය පවුලක සිටියදි ඔහුට සොහොයුරෙකු සිටි බවය.
දෙමාපියන්ගේ අදහස වී ඇත්තේ තම පුත්‍රයාගේ ඉංග්‍රීසි භාෂා දැනුම නියත වශයෙන්ම පෙර භවයෙන් ගෙනා දැනුමක් විය හැකි බවය. මුදල් පිළිබඳව කතා කරන සෑම විටදීම ඔහු භාවිත කරනු ලබන්නේ ඩොලර්ස් යනුවෙන් වීමත් විදේශීය ගති සිරිත් ඔහු මගින් පිළිබිඹු වීමත් සුවිශේෂි සිදුවීම් ලෙස දෙමාපියෝ සලකති.
සිංහල සංස්කෘතිය භාවිත වන පවුලකට උපත ලැබූ මෙම දරුවා විදේශීය ගති සිරිත් ඉදිරිපත් කිරීම ද දෙමාපියන්ගේ මවිතයට හේතු වී තිබේ. සෑම විටම ඔහු ඉල්ලා සිටින්නේ කැනඩාවට යාමට අවශ්‍ය බවය. මේ අතර ඔහු මව සමග නිතරම මරණය පිළිබඳව විවිධ තොරතුරු විමසීම ද සිරිත වී තිබේ. ඉපදීමත් මරණයත් පිළිබඳව විවධ ප්‍රශ්න කිරීම සහ ඒ ගැන කරුණු විමර්ශනයටද ඔහු බලවත් ආශාවක් දක්වයි.
කෙසේ වෙතත් මෙම දරුවා පෙරභවය ගැන සඳහන් කර ඇත්තේ ඔහුගේ නමත් පියාගේ නමත් පමණී. ‘එයා ඩොලර් නෝට්ටු’ හෝ කිසි දිනෙක නොදැක තිබූ අවධියක දී ඒ ගැන කතා කිරීම සිදුවූයේ පුදුම විදියටයි. මුදල් භාවිතයේදී එයා ඒවා හඳුන්වන්නේ ඩොලර්ස් යනුවෙන් වීමම විදේශයක සිටි බවට සාක්කියක් ලෙස අපි දකිනවා.’ යයි පවන්ගේ දෙමාපියෝ පවසති.
පවන්ගේ පුනර්භව තොරතුරු විමර්ශනයක් කිරීමට පසුගිය දිනක අපට අවස්ථාව ලැබිණි. එහිදී පවන්ගේ මවට ඉදිරිපත් කළ ප්‍රශ්නත් පිළිතුරුත් මෙසේය.
ප්‍රශ්නය:- ඔබේ දරුවා උපදින විට නිරෝගීව සිටියා ද?
පිළිතුර:- ඔව්. ඒත් මාස තුනේදී පමණ ඔහුට රෝගී තත්ත්වයක් ඇති වුණා.
ප්‍රශ්නය:- එම රෝගී තත්ත්වය කුමක් ද?
පිළිතුර:- තද උණක් සෑදුනා. අපි එයාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ගියා. එයාට උණ සන්නිපාතය වැලඳී ඇතැයි එක් වෛද්‍ය අංශයකින් පැවසුවා. නැවතත් අපි එයාව වෙනත් වෛද්‍යවරයෙක් වෙතත් රැගෙන ගියා. එහිදී එයාගේ මොළයේ රුධිර කැටියක් පිළිබඳව දැනුවත් කළා.
ප්‍රශ්නය:- ඒ සඳහා ප්‍රතිකාර කළා ද?
පිළිතුර:- ඔව් කතා කරවීමේ වෛද්‍ය ක්‍රම (SPEECH THERAPISTS) අනුගමනය කළා. එය සිදු කරනු ලැබුවේ සිංහල බසින්. නමුත් ඔහු වචනයක් හෝ කතා කළේ නෑ. පසුව අපි එවැනි වෙනත් ප්‍රතිකාර කරන අයෙකුට ඉදිරිපත් කළා. එයා භාවිත කළේ ඉංග්‍රීසි බස.
ප්‍රශ්නය:- එය සාර්ථක වුණා ද?
පිළිතුර:- එය හරිම පුදුමයි. ඔහු ඉංග්‍රීසි බස ඉතා ඉක්මනට කතා කළා. කුඩා දරුවෙක් ඉංග්‍රීසි බස එතරම් ඉක්මනින් හැසිරවීම හරිම පුදුමයි. ඔහු මුළුමනින්ම ඉංග්‍රීසියෙන් පමණක් කතා කළා. නිවසේ අපි සමග ද කතා කළේ ඉංග්‍රීසියෙන් පමණයි.
ප්‍රශ්නය:- පෙර භවය පිළිබඳව ඔහු ප්‍රකාශ කළේ ඉංග්‍රීසියෙන් ද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- මුලින්ම ප්‍රකාශ කළේ කුමක් ද?
පිළිතුර:- කැනඩාවේ සිට පැමිණි බව කීවා.
තිස්ස ජයවර්ධන