අවුරුදු 156 කට කලින් මැයි 7 වැනිදා
1864 මැයි 7 වැනිදා උදේ වරුවේ මහනුවර සිටි බොහෝ අයගේ නෙත් සිත් යොමුව තිබුණේ එල්ලා මරන්නාගේ කඳු ගැටය වෙතටය. එදා එල්ලා මරන්නාගේ කඳු ගැටයේ පිහිටුවා තිබූ එල්ලුම් ගහේ එල්ලා මරා දැම්මේ සරදියෙල් හා මම්මලේ මරික්කාර්ය.
ඉංග්‍රීසීන් එල්ලුම් ගහේ දෙදෙනා එල්ලා මරා දැම්මේ දහස් ගණනක පිරිසක් බලා සිටියදීය. ඉංග්‍රීසි ජාතිකයින්ට ඕනෑ වී තිබුණේ මිය යන ආකාරයන් විශාල පිරිස් බලා සිටිත් දී කරන්නටය. තමන්ගේ පාලනයට කුමන ආකාරයකින් හෝ එරෙහි වන්නන්ට දෙන දඬුවම් ක්‍රම කාටත් දැන ගන්නට සැලස්වීම ඔවුන්ගේ යටි අරමුණක් විය.
මෙයට වසර 156 කට පෙර සරදියෙල් හා මම්මලේ එල්ලා මරා දැමූ එල්ලා මරන්නාගේ කඳු ගැටය (Hangman's Hill) පිහිටා තිබූ තැන ඇත්තේ කොහේද?
ආර්.එල්. බ්‍රෝහියර් 1910 සිට 1949 දක්වා වසර 40ක පමණ කාලයක් ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මිනින්දෝරුවෙකු ලෙස සේවය කළ අයෙකි. ඔහු භූගෝල විද්‍යාඥයෙකු මෙන්ම ඉතිහාසඥයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසිලූවෙකි. සරදියෙල් එල්ලා මරා දැමූ තැන ගැන සටහනක් තබන්නටද ඔහු අමතක කර නැත.
සරදියෙල් හා මම්මලේ එල්ලා මරා ඇත්තේ එල්ලා මරන්නාගේ කඳු ගැටයේ පිහිටුවා තිබූ එල්ලුම් ගහේදී බව බ්‍රෝහියර් පවසයි. එම ස්ථානය පිහිටා තිබූ තැන ගැන ද ඔහු විස්තර කියයි.
මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ (මාර්කට්) තිබෙන බිමේත් එහි ඉදිරියේ උද්‍යානය පිහිටි බිමේත් 1872 වන විට තිබී ඇත්තේ ජලයෙන් පිරි මඩ වගුරකි. එම මඩ වගුර පිහිටි බිමට එකල පවසා ඇත්තේ බෝගම්බර යන්නය. 1872 දී සිරකරුවන්ගේ ශ්‍රමය ලබා ගනිමින් එල්ලා මරන්නාගේ කඳුගැටය කපා එම පස් ගල්වලින් මඩ වගුර වසා දමා ඇත.
මඩ වගුර එකල තිබූ බෝගම්බර වැවේ කොටසකි. පස් පිරවූ බිමේ අද පොලිසිය, මධ්‍යම වෙළෙඳ පොළ හා උද්‍යානය පිහිටා තිබේ.
එල්ලා මරන්නාගේ කඳු ගැටයේ තිබූ එල්ලුම් ගහේ අවසන් වතාවට එල්ලා මරා දැම්මේ සරදියෙල් හා මම්මලේ බව බ්‍රෝහියර් පවසයි. ඔවුන් එල්ලා මරා ටික කලක් යන විට එල්ලුම් ගහ එතනින් ඉවත් කර තිබේ.
එල්ලුම් ගහ පිහිටුවා තිබූ එල්ලා මරන්නාගේ කඳු ගැටය පිහිටා තිබෙන්නට ඇත්තේ වර්තමාන මහනුවර පුෂ්පාදාන බාලිකා විද්‍යාලයේ ගොඩනැගිලි පිහිටා තිබෙන බිමේයයි විශ්වාස කළ හැකිය. කැපූ කඳු ගැටයක එම ගොඩනැගිලි පිහිටා ඇති බව අද ද දක්නට ලැබෙන දසුනකි.
සටහන හා ඡායාරූප
හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ