‘බෙපී-කොලම්බෝ’ බුධට ළං වෙයි


විද්‍යා ලෝකය

 

සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම සහ හිරුට ආසන්නයෙන්ම පිහිටි ග්‍රහලෝකය කුමක්ද? මේ ප්‍රශ්න දෙකට ඇත්තේ එක පිළිතුරකි. ඒ ග්‍රහලොව බුධය. කිලෝ මීටර් මිලියන 57 ක විෂ්කම්භයක් ඇති, බුධ ට හිරුවටා ගමන් කිරීමට ගතවන කාලය පෘථිවි දින 88 කි. ඒ අනුව, සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින්, අඩුම දින ගණනක දී හිරුවටා යන ග්‍රහලෝකය වන්නේ ද බුධ ය.   


ඉංග්‍රීසි බසින් බුධ හැඳින්වෙන්නේ ‘මර්කියුරි’ යනුයෙනි. ඒ, රෝම ‘‘මර්කියුරිස්’ දෙවියන් සිහි කරමිනි. බුධ ගවේෂණයට 1974 සහ 1975 වසරේ දී ‘මැරීනර් 10’ ගවේෂණ යානයත්, 2004 දී ‘මැසෙන්ජර්’ ගවේෂණ යානයත් යවනු ලැබුණි. මේවා සාර්ථකව, බුධ අසලින් යමින් ඡායාරූප සහ දත්ත රැස් කිරීම සිදුවිය. ‘මැසෙන්ජර්’ යානය හාර දහස් වාරයක් බුධ වටා යමින්, බුධගේ කක්ෂයට පිවිසී, ගවේෂණයේ යෙදී අවසානයේ බුධ මතට කඩා වැටුණි. ඒ, 2015 අප්‍රේල් 30 වැනිදාය. විද්‍යාඥයන් බුධ ග්‍රහයා ගැන දන්නේ මෙම ගවේෂණ යානාවලින් ලැබුණු දත්ත අනුවය.   


යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය (ESA) සහ ජපාන අභ්‍යවකාශ ඒජන්සිය (JAXA) එක් වී, බුධ ගවේෂණයට යානයක් යැවීය. මෙම යානයත් මෙහෙයුමත් නම් කෙරුණේ ‘බෙපී-කොලම්බෝ‘ (BepiColombo) යනුවෙනි. ‘බෙපී-කොලම්බෝ‘ පෘථිවියෙන් නික්ම ගියේ 2018 ඔක්තෝබර් 20 වැනිදා ය. මෙහෙයුම සහ යානය ‘බෙපී කොලම්බෝ‘ යනුවෙන් නම් කර ඇත්තේ ඉතාලි ජාතික විද්‍යාඥයකු, ඉන්ජිනේරුවකු සහ ගණිතඥයකු වන ජුසෙප්පේ බෙපී කොලම්බෝ (1920-1984) ට ගරු කරමිනි. ග්‍රහලෝකවල ගුරුත්ව බලය භාවිතයට ගනිමින්, ඒවා ගමන් කරවීම සහ ඒවා ග්‍රහලෝකවලට ළං කිරීම පිළිබඳ පළමුවෙන් අදහස් ඉදිරිපත් කළේ මොහුය. ‘මැරීනර් 10’ ගවේෂණ යානය බුධ ගවේෂණය සිදු කළේ ඒ අනුවය.   


2018 ඔක්තෝබර් 20 වැනිදා බුධ බලා ගිය ‘බෙපී කොලම්බෝ’ යානය, එක්තරා ආකාරයකට මවු යානයක් හා සමානය. ඊට හේතුව මෙම යානය තුළ තවත් කුඩා ගවේෂණ යානා දෙකක් තිබීමය. මෙම යානා චන්ද්‍රිකා වැනිය. මවු යානයෙන් එළියට පැමිණීමෙන් පසු බුධගේ කක්ෂයේ රැඳී හිඳිමින් ගවේෂණ කටයුතු සිදු කරනු ඇත. මෙම යානා දෙක නම් කර ඇත්තේ ‘බුධ කක්ෂීය යානය’ (MPO) සහ බුධ වායුගෝල නිරීක්ෂණ යානය (Mio) යනුවෙනි.   


‘බෙපී කොලම්බෝ‘ යානය, ‘බුධ කක්ෂීය යානය’ (MPO) සහ බුධ වායුගෝල නිරීක්ෂණ යානය (Mio) බුධගේ කක්ෂයට මුදා හැරීම සිදුකරන්නේ, 2025 දෙසැම්බර් පස් වැනිදාය. මවු යානය එසේ කරන්නේ, තවත් එක් වරක් පෘථිවිය වටාත්, දෙවරක් සිකුරු වටාත්, ගමන් කරමින් බුධට ළං වී බුධ වටා හය වරක් ගමන් කිරීමෙන් ද පසුවය. පසුගිය තුන්වැනිදා ‘බෙපී කොලම්බෝ’ යානය බුධට ළං වී පළමු වටය සම්පූර්ණ කළේය. එය සුවිශේෂී සිදුවීමක් විය.   


බුධගේ ගුරුත්ව බලය උපයෝගී කර ගනිමින්, බුධ වටා යද්දී, ‘බෙපී කොලම්බෝ’ මවු යානයේ වේගය අඩු කර ගැනීමට හැකිවුණු අතර, බුධගේ ඡායාරූප ගැනීමක් ඒ අනුව සිදුවිය. මෙම සටහන සමඟ පළ වන්නේ එම ඡායාරූපයයි. යානය ගමන් කළේ බුධගේ සිට කිලෝ මීටර් 240 කට වඩා අඩු දුරකිනි. ඡායාරූප ගැනීම කළේ යානයේ එක් කැමරා පද්ධතියක් පමණක් පණ ගන්වමින් බව ද විද්‍යාඥයෝ පැහැදිලි කරති. ලබා ගැණුනේ කළු සුදු ඡායාරූපයකි. බුධට ළං වී මිනිත්තු 10 ක් පමණ ගතවෙද් දී මෙම ඡායාරූපය ගැනීම සිදුවුණු බව යුරෝපා සහ ජපාන අභ්‍යවකාශ ආයතන නිකුත් කළ නිවේදනයක සඳහන් විය.   


ඡායාරූපයට නැගුණේ බුධගේ උතුරු අර්ධ ගෝලයයි. ‘ලර්මොන්ටෝව්’ නමැති කිලෝ මීටර් 166 ක් පළල දැවැන්ත ආවාටය ඇතුළු තවත් ආවාට රැසක් පැහැදිලිව ඡායාරූපයට ඇතුළත් වෙයි. ‘ලර්මොන්ටෝව්’ ආවාටය හඳුනා ගැනීම සිදුවූයේ මීට පෙර සිදුවුණු ගවේෂණ මෙහෙයුම්වලදීය. ‘යානය බුධ අසලින් ගමන් කරමින් ඡායාරූප ගැනීම සිතුවාටත් වඩා සාර්ථකව සිදු වුණා. වසර 3 කට පමණ පසු ‘බෙපී කොලම්බෝ’ මෙහෙයුම පළමු වරට නියමිත ඉලක්කයට ළං වී තිබෙනවා. අපට බුධ ග්‍රහයා පැහැදිලිව දකින්න ලැබුණා’ යැයි ‘බෙපී කොලම්බෝ’ මෙහෙයුමට සම්බන්ධ මෙහෙයුම් කළමණාකාරිය එල්සා මොන්ටැග්නොන් පැවැසුවාය. 

 

ලු‍‍සිත ජයමාන්න   
අල් ජසීරා ඇසුරිනි