’’ලියෝ ’’ එක්ක ගත කරන කාලය හිතට සැනසීමක් - යශ් වීරසිංහ


සඳැල්ලෙන් ගෙන එන "මගේ සුරතලා" විශේෂාංගයට, මෙවර අපි සම්බන්ධ කරගත්තේ - ජනප්‍රිය රංගන ශිල්පි,

යෂ් කියන විදියට සුරතල් සතෙක් ඇතිකරනවා කියන්නේ, ලොකු වගකීමක්.  එයා වෙනුවෙන් වෙනම  කාලයක් වෙන් කරන්නවීමයි ඊට හේතුව. ඒ සතාට අවශ්‍ය ආදරය ලබා දෙන්න පුළුවන් නම් පමණක්, සුරතල් සතෙක්ව ඇති කරන්න කියන එකයි , ඔහුගේ උපදෙස.

රැල්ලට සත්තු ඇති කරලා, එයාලාට දුකක් දෙන එක වරදක් ලෙසයි යෂ් දකින්නේ. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර අපි යෂ්ගෙන්ම අසා දැනගමු.

  • යෂ් වීරසිංහ කියන්නේ සුරතල් සතුන්ට ආදරය කරන කෙනෙක්ද?

ඔව්. මම සුරතල් සතුන්ට ගොඩාක් කැමතියි වගේම, පොදුවේ හැම සතෙකුටම වගේ ආදරෙයි. මම පොඩි කාලේ අපේ ගෙදර පූසෝ හිටියා. ඒත් අපිටම කියලා සුරතල් සතෙක් හිටියේ නැහැ. පොඩි කාලේ මම බල්ලන්ට ටිකක් බයයි. ඒත් දැන් නම් එහෙම නැහැ. දැන් මට ඉන්නෙත් බලු පැටියෙක්. මම හරිම ආසාවෙන් හිටියා, පොඩි කාලේ සුරතල් සතෙක් ඇති කරන්න. ඒත් අම්මා permission දුන්නේ නැහැ. අපි කරන දඟ වැඩ නිසාම තමයි, අම්මා අපිට සුරතල් සතෙක් ඇති කරන්න දුන්නෙ නැත්තේ.  

  •  යෂ්ට දැන් ඉන්න සුරතලා ගැන විස්තර ටිකක් කිවුවොත් …..

මට දැන් ඉන්නේ ,ගෝල්ඩන් රිට්‍රීවර් වර්ගයේ බලු පැටියෙක්. එයාගෙ නම ලියෝ. එයාගේ වයස මාස හතර හමාරයි. මම ගොඩාක් කල් ඉඳලා බල්ලෙක්ව ඇති කරන්න ආසාවෙන් හිටියා. ඉතින් ඒ නිසාම ගිහින් ලියෝව අරන් ආවා. ලියෝ හරිම දඟයි.  පොඩි නිසා ගල්, ප්ලාස්ටික්,

  • වගේ අහුවෙන ඕනම දෙයක් වගේ කන්න උත්සාහ කරනවා. නමුත් තාම     අපි routine එකකට තමයි,  එයාට කෑම දෙන්නේ. ලියෝ දඟ වැඩ එහෙම කරනවාද?

අම්මෝ ඔව්. එයා උදේ නැගිටපු වෙලේ ඉඳන් දඟ වැඩ තමයි කරන්නේ. කිසිම වෙලාවක හොඳ වැඩක් නම් කරන්නේ නැහැ. එයා කරන එකම හොඳ වැඩේ තමයි නිදා ගන්න එක. ලියෝ පුරුදු වෙලා ඉන්නවා කටේ ගල් දාගෙන හප හපා ඉන්න.  ඒ වැඩේට අපි කැමති නෑ  කියලා එයා දන්නවා. ඒ නිසාම, සමහර වෙලාවට, අපේ අවධානය ගන්න - එයා මිදුලට ගිහිල්ලා ගල් කැටයක් කටේ දාගෙන, අපිට  පේන්න ඇහෙන්න හපනවා. ඊට පස්සේ අපි ළඟට යනවා නේ ඒ ගල් කැටය අයින් කරන්න. අපි එයා ළඟට එනකොට එයා දුවනවා. අපි ඉතින් කොහොම හරි එයාව අල්ලගන්න ඕන. අපිව අවුස්සන එක තමයි එයා කරන ලොකුම දඟ වැඩේ.

  • යෂ් ගේ සුරතලා විශේෂයෙන් train කරලා තියෙනවාද?

ඇත්තටම මම මේ සුරතලාව ගත්තේ, train කරන්න කියලා හිතාගෙන. ලියෝව මම හදන්න තීරණය කළේ, film එකක් වෙනුවෙන්. ඉතින් ඒ film එකේ චරිතයට ගැළපෙන විදිහට තමයි, මම එයාව train කරන්න හිතාගෙන ඉන්නේ. පොඩි කාලේ ඉඳන් මගෙත් එක්ක හැදුනහම, එයාගෙයි මගෙයි තියෙන බැඳීම වැඩි වෙනවා. ඉතින් ඒ නිසා වෙන සුරතල් සතෙක්ව ඒ film එකට ගන්නවාට වැඩිය, මගේම සුරතලෙක් ගත්තොත් සාර්ථකයි කියලා හිතුණා.

ඒ නැතත් , බල්ලෙක්ව අරගෙන train කරලා හදන්න - මට ලොකු ආසවක් තිබුණා. ඉතින් ඒ නිසා, මම ලියෝව ඒ විදිහට ගැළපෙන්න තමයි හදන්න ඉන්නේ.  එයා තාම පොඩි වැඩියි. තව ටිකක් කල් ඉඳලා හරි වයසට ආවහම train කරනවා.            

  • යෂ් ගේ Busy Life එකත් එක්ක කොහොමද  ලියෝ ගේ වැඩකටයුතු manage කරගන්නේ?

මම ගොඩාක් වෙලාවට, ගෙදර නැහැ. එතකොට ගෙදර අය තමයි, ලියෝව බලා ගන්නේ. එයාගේ ගොඩාක් වැඩ කරන්නේ අපේ අම්මයි, තාත්තයි. ඊට අමතරව අයියයි, නංගියි ත්  ඒ වැඩවලට උදව් වෙනවා.  අම්මයි, තාත්තයි ලියෝට හරිම ආදරෙයි. ඒ දෙන්නා, එයාව පොඩි දරුවෙක් බලා ගන්නවා වාගෙයි,   බලා ගන්නේ.

එයාලාගේ සහයෝගය නැතිව, තනියම මට ලියෝගේ වැඩ කරන්න අමාරුයි. මම එයාව ගෙදරට අරන් ආවාට, පවුලේ අය තමයි බලාගන්නේ.  හැබැයි ලියෝ කොච්චර අම්මයි තාත්තයි එක්ක හිටියත්, මම ආවට පස්සේ, මාත් එක්කම තමයි ඉන්නේ.     

  • යෂ් ගෙ සුරතලා එක්ක travel කරලා තියෙනවාද?

තවම නම් එයාව කොහෙවත් එක්කගෙන ගිහිල්ලා නැහැ. එයාව ගෙදරට ගේන දවසේ නම්, කාර් එකේ දාගෙන ආවා. එයාව මම ගෙනාවේ අම්බලන්ගොඩින්. කිසි කරදරයක් නැතුව, එයා කාර් එකේ ආවා. අන්තිමට මගෙත් එක්ක ගියපු යාළුවෝ දෙන්නත් බැස්සාට පස්සේ, මගේ ඔඩොක්කුවේ තමයි ඉඳගෙන ආවේත්. ඒක තමයි මම හිතන්නේ, එයා ගියපු ලොකුම දුර. ඊට අමතරව එයාව doctor ළඟට එක්කගෙන යනවා.  මෙයාගේ වයසත් එක්ක ලෙඩ බෝවෙන නිසා, තවම කොහේවත් එක්කගෙන යන්නේ නැහැ.   අපේ ගෙදර වත්තේ හොඳට ඉඩ තියෙනවා, එයාට සෙල්ලම් කරන්න. ඒ නිසා විශේෂයෙන් කියලා එයාව එළියට එක්කගෙන යන්නේ නැහැ. එයාත් හරි කැමතියි වාහනවල නැගලා යන්න.

  • ලියෝ විශේෂයෙන් කරන දෙයක් තියෙනවාද?

අපි කොහේ හරි ගමනක් යන්න ලෑස්ති වෙලා ඉන්නවා නම්, එයාට ඒක දැනෙනවා. ලෑස්ති වෙනකන්ම අපේ පස්සෙන් එනවා. අපේ ඇඟට පනිනවා. ඒ වගේ දේවල් කරනවා. මගේ වාහනයේ සද්දේ හොඳට අඳුරනවා. මම ඈත එනකොටම අම්මා කියනවා ලියෝ ගෙදර ඇතුළේ ඉඳන් උඩ පනිනවාලු.

  • දැන් ඉන්න සුරතල් සතාට අමතරව, වෙන සුරතල් සතෙක්ව ඇති කරන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

එහෙම බලාපොරොත්තුවක් තවම නැහැ. පූසන්ට මම වැඩිය කැමති නැහැ. ඒත් පොඩි කාලේ අපේ ගෙදර පූසෝ ඉඳලා තියෙනවා. ඒත් බල්ලෙක් ඇරුණම වෙන සතෙක්ව හදන්න මගේ ආසාවක් නැහැ.    

  • යෂ්ට දුක හිතුණ වෙලාවට හිත හදාගන්න ලියෝ ගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

ඒක ගැන නම් කියන්නම ඕන. මම දැන් මේ කරන වැඩත් එක්ක stress වෙලා ඉන්නේ. මෙයාව දැක්කහම ඒ සේරම අමතක වෙනවා. එයා එක්ක ගත කරන කාලය ඇත්තටම හරිම විනෝදයි. හිතට හරිම සැනසීමක් දැනෙනවා.

 


ලිහිණි ලියනගේ