ජේ. ඉඳුරුවගේ
ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නියමිත දිනයේ නොපැවැත් වුවද ඒ වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් රුපියල් 655,096,226 ක මුදලක් වැයකර ඇතැයි ජාතික විගණන කාර්යාලය මැතිවරණ කොමිෂන් සභාවට අදාළව ඉකුත් වසර වෙනුවෙන් නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කරයි.
මෙම වියදම්වලින් සියයට 15 ක් අතිකාල හා නිවාඩු දින වැටුප් සඳහාද, සියයට 23 ක් ලිපිද්‍රව්‍ය සඳහාද, සියයට 07ක් ඉන්ධන සඳහාද, සියයට 31 ක් මුද්‍රණ කටයුතු සඳහාද, සියයට 07ක් සංග්‍රහ කටයුතු සඳහාද, සියයට 04 ක් පොලිස් දෙපාර්තමේන්තුවේ වියදම් සඳහාද, සියයට 13 ක් අනෙකුත් වියදම් සඳහාද වැය කර ඇති බව විගණනයෙන් පෙන්වා දී ඇත.
ඉකුත් වසරේ මාර්තු 19 දිනෙන් ධුර කාලය අවසන් වූ පළාත් පාලන ආයතන වෙනුවෙන් එම වසරේ ජනවාරි 04 දා නාමයෝජනා ප්‍රකාශයට පත්කර ඡන්ද විමසීමේ දින හා ඒවා අවලංගු කිරීමට අදාළව ගැසට් පත්‍ර තුනක් නිකුත් කර තිබූ බවද විගණනයෙන් පෙන්වා දෙයි. එමෙන්ම ඉකුත් වසරේ සැප්තැම්බර් 30 දිනට තව දුරටත් ගෙවිය යුතු රුපියල් 15,933,472ක් පැවති බවද විගණන කාර්යාලය සඳහන් කරයි.
මෙම ඡන්ද විමසීම නියමිත පරිදි පවත්වා 2023 මාර්තු 19 දිනට පෙර සභිකයන් තෝරා පත්කර අවසන් කිරීමේ අවශ්‍යතාව අනුව මෙම වියදම් දැරීමට සිදුවූ බව මැතිවරණ කොමිෂන් සභාව විගණනය වෙත කරුණු දක්වා ඇත.
මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් සපුරාගතයුතු මූල්‍ය හා වෙනත් අවශ්‍යතා පූර්ණ නොකර කටයුතු කිරීමෙන් රාජ්‍ය මූල්‍ය නාස්තියක් වන අතර අනාගතයේ මෙවැනි සිදුවීම් ඇතිවීම වළක්වා ගැනීමට කටයුතු කළයුතු බව විගණන කාර්යාලය මැතිවරණ කොමිෂන් සභාව වෙත නිර්දේශ ලබාදී තිබේ.